Wednesday, May 18, 2011

බුද්ධ වර්ෂය හා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය





බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට ය. මේ අනුව ඉකුත් වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූ බුද්ධ වර්ෂ 2554 මේ වර්ෂයේ (2011 ) වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ සිට ය.

ක්‍රිස්තු (භාවිත) වර්ෂය – අද අපි එදිනෙදා කටයුතු සඳහා භාවිතා කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂයයි. එය පොදුවේ භාවිත වන වර්ෂය හෙයින් අපිදු භාවිත කරමු. මේ අනුව ඉකුත් ජනවාරි 01 වන දා උදාවූයේ 2011 වර්ෂයයි. මෙය වෙනස් වන්නේ මීළඟ ජනවාරි 01 දිනට ය. එදිනට 2012 වර්ෂය උදා වේ. ක්‍රිස්තු වර්ෂය ගණනය කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ දිනයේ සිට ය.

ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙමේ උත්පත්පතිය ලබන විට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු වී අවුරුදු 544ක් ගත වී ඇත. නැතහොත් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නට අවුරුදු 544කට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවී ඇත.

2011 + 544 බුද්ධ වර්ෂ 2555
2555 - 544 ක්‍රිස්තු වර්ෂ 2011

වර්තමානයේ බුද්ධ ජයන්ති වර්ෂ දෙකක් ගැන බොහෝ දෙනා කතා කරති. ඒවා

1. බුද්ධ ජයන්තිය හා
2. සම්බුද්ධත්ව ජයන්තිය වශයෙන් නම් විය යුතු ය.

1. බුද්ධ ජයන්තිය

මෙය බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500ක් ගතවීම අනුස්මරණය කරමින් පැවැත් වූ ජයන්තියයි. එය සිදු කළේ භාවිත (ක්‍රිස්තු) වර්ෂ 1956 දී ය. ක්‍රිස්තු වර්ෂ 1956ට යෙදුණු වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500ක් උදාවිය. (මෙය බුද්ධ ජයන්ති වර්ෂයයි)

2. සම්බුද්ධත්ව ජයන්තිය

බුදුරජාණන් වහන්සේ ජීවමානව අසූ අවුරුද්දක් වැඩ සිටියහ. මෙයින් ඉපිද අවුරුදු 35 ගත වූ තැන දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝ මුල දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මෙසේ සම්බුද්ධත්වයට පත්ව අවුරුදු 45ක් ජීවමානව වැඩ සිට පිරිනිවී වදාළේ අසූ අවුරුදු වියේදී ය.

මේ අනුව ජීවමාන බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව (අවුරුදු 2555+ 45) 2600 වන අවුරුද්ද යෙදුනේ 2011 වසරේ වෙසක් පෝදාට ය. මේ නිසා සම්මා සම්බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව වසර 2600ක් 2011 මැයි මස 17 දිනට යෙදුණු වෙසක් පුණු පොහෝදා උදා විය.

භාවිත වර්ෂය වෙනස

=1956 + 544 = 2500 වන බුද්ධ වර්ෂය (පිරිනිවී)

=2011 + 544 + 45 = 2600 බුද්ධ වර්ෂ (බුදු වී)


-----   2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව ---------