Saturday, July 30, 2011

රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows

" අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . .  "

මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ලබා ගන්න පුළුවන් උපරිම ජනප්‍රියත්වය ඒ වැඩසටහන ලබා ගත්තා. තාමත් මතකයි ඒ තරගය යන කාලයේ ජන(අ)ප්‍රිය ගායකයෙක් ඉවත් උනා කියලා ගෑනු ළමයි එහෙම අඩපු හැටි. හිකිස්‌ . . ඔහොම පොඩියට පටන් ගනිපු රියලටි උන්මාදය අනිත් නාලිකාවලටත් බෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ ගොඩක් නාලිකා රියලටි කරන්න ගිහින් වැඩේ අනාගත්තා.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටවල දී වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.කොහොම උනත් ඔතනදි මම කියපු "අභාෂය" කියන දේත් පොඩ්ඩක් විතර කොන්දේසි වලට යටත් වෙනවා.මොකද කියනවනම් ඇමෙරිකාවේ පවත්වපු තරග වලදී භාවිතා කරපු දැවැන්ත වේදිකා , උසස් තාක්ෂණය, වෙනස් වෙනස් කැමරා කෝණ වගේ දේවල් මුල් කාලයේ තිබ්බ රියලටි ෂෝ වල තිබ්බේ නැහැ.මගේ අදහස තාමත් තාක්‍ෂණය සහ වේදිකාවන් කියන කාරණා ගත්තොත් දෙරණෙන් කරන රියලටි ෂෝ එක ඉදිරියෙන් ඉන්නවා.

කොහොමහරි ඔය තරගවල තියෙන පොදු ලකෂනයක්ද මන්දා ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

දැන් කට්ටිය බලනවා ඇති මම උදාහරණ ගන්නකොට ඇයි සිරස සහ දෙරණ විතරක්ම ගන්නේ කියලා.ඒකටත් හේතු තියෙනවා. මගේ පුද්ගලික අදහසක් තමයි ලංකාව වගේ රටක කරන රියලටි ෂෝ වල ගුණාත්මක බව ( සහ ජනප්‍රියත්වය ) මනින්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ අදාළ වැඩසටහන පවත්වන වාර ගනන නැත්නම් සීසන් ප්‍රමාණය.මොකද ඕනෑම නාලිකාවක් කැමති වෙන්නේ නැහැ අනුග්‍රාහකයන් නැතිව නිකන් බොරුවට වැඩසටහන් කරන්න.කප්පරක් රියලටි ලංකාවේ තිබ්බට යම්තම් සීසන් දෙකක් හරි ඊට වඩා පවත්වාගෙන යන්න පුළුවන් රියලටි කරමින් ඉන්නේ මම ඉස්සර කියපු නාලිකා දෙක විතරයි.අනිත් නාලිකාවලින් දක්ෂයන් බිහිනොවුනා නෙවෙයි, නමුත් යම් යම් හේතු මත ඔවුන්ගේ වැඩසටහන් අසාර්ථකයි.

තව හේතුවක් තමයි ඔය නාලිකා දෙකෙන්ම තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" දාන්නේ නැහැ.උදාහරණ ඉතින් කියන්න ඕනෑ නැහැනේ.

තවත් එකක් තියෙනවා , මේක නම් මගේ යාලුවෙක් ගේ අදහසක්.මම 100 % එකග නැහැ.හැබැයි වැරැද්දක් කියන්නත් බැහැ. එයා කියෙන්නේ තමන්ගේ වැඩසටහන ජනප්‍රියනම් බය නැතිව අවසාන මහා තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ තියන්න පුළුවන්කම තියෙන්න ඕනලු.ගොඩක් සෙනගක් දාන්න පුළුවන් දැනට තියෙන එකම තැන එහේ විතරනේ.ඒ තර්කෙට අනුව බැලුවත් සුගතදාස ක්‍රීඩාංගනය පිරෙන්න සෙනග ගෙනල්ලා රියලටි ෂෝ කරලා තියෙන්නෙත් මම කලින් කියපු නාලිකා දෙක විතරයි.

ඔය මොන නාලිකාවලින් හරි එක එක විදියට තරු හැදුවත් ඔය බබලන තරුවලින් ගොඩක් කට්ටිය උල්කාපාත වගේ බිමට කඩන් පාත් වෙනවා.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

ප.ලි -ටෙම්ප්ලේට් එක ටිකක් වෙනස් කරා ඒක අවුලක් නැහැ කියලා හිතනවා.

Saturday, July 23, 2011

මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ

ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර  ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.

කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් එකතු වෙලා හිටියා. මේ පන්තිය ප්‍රසිද්ධ රසායන විද්‍යා පන්තියක්. හැමදාම පන්තිය ඉවර වෙනකොට හවස දෙක තුන වෙනවා , පංති ඉවර වෙලා යන්නත් ඕන අර ගාට ගාට යන 183 බස් එකේ. ඉතින් මේ යාලුවෝ සෙට් එක කරන්නේ හැමදා පන්ති ඉවර වෙලත් තව පැය භාගයක් විතර බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. ඔය ඉන්න කොට ඉතින් අහල පහල ඉන්න ගෑනු ළමයි , පාසල් ඇරිලා යන ළමයින්ව එහෙම ලාවට වගේ බයිට් එකටත් ගන්නවා. ඔහොම ඉදලා 3 ට විතර එන හිස් 183 බස් එකක කට්ටියම නගිනවා.

ඔය වැඩේ ටික කාලයක් කරගෙන යනකොට දැන් මේ යාලුවෝ කට්ටියට තේරෙනවා තමන්ගේ සෙට් එක විතරක් නෙවේ මෙහෙම 3 විතර වෙනකන් ඉන්නේ වෙන සෙට් එකකුත් ඉන්නවා කියලා.බැලින්නම් ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්.සෙට් එකක් කිව්වට ඉන්නේ  කෙල්ලෝ දෙන්නෙක්. තව කාලයක් මේ වෙන වැඩේ ෆලෝ කරගෙන ඉන්නකොට කට්ටියට ක්ලික් වෙනවා මේ කෙල්ලෝ දෙන්නත් ඉන්නේ ගෙවල් ළග පාතමයි කියලා.

දැන් ඉතින් යාලුවෝ ටිකටත් නිකන් මැජික් වගේ නේ මේ වෙන වැඩේ. පස්සේ ඉතින් කට්ටිය කරේ වෙනදා 3 වෙනකන් ඉදලා හිස් බස් එකක යන එක වෙනුවට අර කෙල්ලෝ සෙට් එක එනකම් ඉදලා එයාලා එක්කම යන්න හිටපු එක.මේ වෙනකොට කෙල්ලෝ සෙට් එක නම් කොල්ලෝ සෙට් එක ගණන් ගත්තේ නැහැ ,කොල්ලෝ ගණන් ගත්තට :D .  දැන් ඉතින් පන්ති ඉවරවෙලා හැමදාම අර කෙල්ලෝ සෙට් එකත් එක්කම එකම බස් එකේ එයාලව බයිට් කර කර අපේ කට්ටිය යනවා.

ආ මට කියන්න අමතක උනා , අර කලින් කිව්ව හොද ෆිට් යාලුවෝ දෙන්නගෙන් එක්කෙනක් මේ කාලය වෙනකොට ප්‍රේම සම්බන්ධයක් තියා කෙල්ලෙක් එක්ක මුණට මුණ බලාගෙන කතා කරලවත් නැහැ.විශ්වාස කරන්න බැරි උනාට ඒක එහෙම තමා. අපේ කතාවේ ප්‍රධාන චරිතය නැත්නම් කතා නායකයත් එයාම තමයි.මිනිහාගේ හිතේ තිබ්බේ උසස් පෙළ කරලා කැම්පස් එකකට පනින එක. අනිත් යාලුවා නම් එහෙම නැහැ.මිනිහා සමජශීලීයි.ඔය එව්වා මෙව්වා දෙක තුනක් එහෙමත් තිබ්බා. කැම්පස් පනින හීනයට වඩා  මිනිහට තිබ්බේ කවදා හරි රට යන්න ඕන කියන හීනය.

අපේ කතා නායක යාලුවට බස් එකේ යන කෙල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක්ව සෙට් කරන්න අර අනිත් යාලුවට පොඩ් අයිඩියා එකකුත් එන්නේ මෙන්න මේ කාලෙදිම තමයි. ඔහොම අයිඩියා එකක් ආවම ඉතින් අනිත් අය බැහැලම සහයෝගය දෙනවනේ. අනිත් අයත් දැන් වැඩේට ෆුල් කැමතියි.දවසක්  අයිඩියා එක ආපු යාලුවා මෙහෙම අහනවා අපේ කතා නායකයාගෙන්...

 " මේ උබ අරකිට කැමතියි නේද "
 " කාටද බන් ? "
 " කාටද කියෙන්නේ බන් අර අපිත් එක්ක  බස් එකේ එකට යන්නේ බන්...අන්න ඒකිට.."
" මේ උබට පිස්සුද බන්..තව එක්සැම් එකට කොච්චර ටික කාලේද තියෙන්නේ..ඕව කර කර හිටියොත් එක්සැම් හබක් වෙනවා බන් "
" හරි හරි බන් උබ කැමතිද නැද්ද කියහන්කෝ..ඉතුරු ටික මම කරන්නම් ... "
" බෑ බෑ මට එපා බන්...උබ දන්නවනේ මම ඕවට නැහැ කියලා දැන්ම"
" උබ ඕන එකක් කරපන් මම එකිට කියනවා උබ කැමතියි කියල...... "

දැන් අර කතා නායක යාලුවා බලනවා මේ මොන දේවාලයක්ද මගේ ඔළුවට කඩන් වැටුනේ කියලා.කොහෙද ඉතින් යාලුවා උනත් මු කියන එක අහන එකක්ද. #$%(#@

දැන් ඔතන් පටන් බස් එකේ යනකොට බයිට් කරන එව්වා එහෙම කැරකෙන්නේ වෙන වෙන විදියට.වැඩේ මුලිකත්වය ගන්නේ කෙල්ල සෙට් කිරීමේ අයිඩියා එක ආපු යාලුවා. අනේ අසරණ යාලුවා ඉතින් හිනා වෙවී ඉන්නවා.වෙන මොනව කරන්නද ඉතින්.

කාලය ගෙවිලා ගෙවිලා පන්තියට එන අන්තිම දවසත් ආවා.දැන් අර කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ටිකක් විතර යාලුයි.දෙගොල්ලෝ කතා කරනවා ඒත් ඉතින් අපේ කතා නායක යාලුවා නම් තාමත් එක කෙල්ලෙක් එක්කවත් කතා කරලා නැහැ. පන්තිය අන්තිම වෙන දවසේ අර ෆිට් යාලුවෝ දෙන්නා අතරේ මෙන්න මේ වගේ කතාවක් යනවා

" මේ බන් අද දැන් ක්ලාස් ඉවරනේ...අද තමයි අන්තිම දවස..ඔන්න උබ ගිහින් අද අරකිගෙන් කෙලින්ම අහපන් කැමැතිද නැද්ද කියලා "
" උබට මෝල් ද  ? "
" මට මෝල් නැහැ බන්..එක්කෝ ඔව් නැත්නම් නැහැ..දෙකින් එකයි නේ."
" අනේ මට බැහැ බන්..අනික මට එහෙම එකී ගැන හිතිලා නැහැ..මම උබට කියලා තියෙනවනේ ඒක "
" මේ උබ ඕන එකක් කරගනින් මම අද උබේ මොබයිල් නම්බර් එක ඒකිට දෙනවා "
" මේ උබේ මොලේ නරක් වේගෙන එනවද..මගේ එක දෙන්නේ උබේ නම්බර් එක දීපං කෝ #^#$%@ "

කිව්වත් වගේ මේ යෝදයා නම්බර් එක කෙල්ලට දුන්නා.කෙල්ලත් ඉතින් මුකුත් නොකියා හිනා වෙවී නම්බර් එක ගත්තා. කට්ටිය හැමෝටම සතුටුයි...නම්බර් එක අයිති යාලුවට හැර.මිනිහා හිත හිත ඉන්නේ මොන මගුලක්ද මේ උනේ කියලා.

කොහොමින් හරි උසස් පෙළ විභාගෙට කලින් දවසේ අපේ කතා නායකයට කෙටි පණිවිඩයක් එනවා දන්නේ නැති නම්බර් එකකින්, විභාගෙට සුභ පතලා.කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් විපරම් කරනකොට දැනගන්න ලැබෙනවා අර නම්බර් එක ගත්තු ගැණු ළමයා තමයි මේ මැසේජ් එවන්නේ කියලා.මෙයත් ඉතින් මෙයාගේ හොදම යාලුවට මේ වැඩේ කිව්වා...

" ඒ මචං මේ අන්න අරකි මැසේජ් එකක් දාල තියෙනවා "
" කවුද බන් අරකි ??"
" අර ක්ලාස් ආවේ බන්..අර උබ හරකා වගේ නම්බර් එක දුන්නේ "
" නෑ...........පිස්සු හැදෙනවා.... ඉතින් උබ ඇහුවද කැමතිද කියලා "
" උබට පිස්සුද බන්.. #&%@#!^$@!  ...විභාගෙට විශ් කරලා තියෙන්නේ "
" අඩේ මරු මරු...ඒ කියෙන්නේ ඒකී උබට කැමතියි..හරි ගියාම අපිටත් කියපන් හරිද "
" මගුලක් කතා කරනවා "

උසස් පෙළත් ඉවර උනා කියමුකෝ.අපේ කතා නායකයයි අර කෙල්ලයි මේ කාලේ වෙනකොට කෙටි පණිවිඩ නිතරම හුවමාරු කර ගන්නව.කතා නායක යාළුවගේ හොදම යාලුවත් මේ අස්සේ නිතර නිතරම අහනව තාම කෙල්ලගෙන් කැමතිද කියලා ඇහුවේ නැද්ද කියලත්. ඔන්න ඔහොම කාලය කෙමෙන් කෙමෙන් ගලාගෙන යනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ අර හොදම යාලුවාගේ බලාපොරොත්තුවක් තිබ්බ කියලා රට යන්න. ඉතින් ඒ නිසා එයා ඒ අරමුණ ඉටු කරගන්න කොලඹ තිබ්බ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවා. ලංකාවේ ටික කාලයක් ඉගෙන ගෙන ඉතුරු ටික පිටරට ගිහින් කරන්න පුලුවන් පාඨමාලාවක් එයා පටන් ගන්නවා. අර කෙල්ලත් ඒ ආයතනයනට යන්න තීරණය කරනව ඔන්‍න‍ ඔය කාලෙදිම.

තව ටික කාලෙකට පස්සේ අපේ කතා නායක මිත්‍රයට ආරංචි වෙනවා එයාගේ හොදම යාලුවා අර කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා. හොදම යාලුවා නම් ඒ බවක් කියලා නැහැ , වෙන යාලුවෙක් තමයි කියලා තියෙන්නේ , තාමත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කරේ කියලා. කොහොමින් හරි ඔය දේවල් වලින් පස්සේ මේ හොදම යාලුවෝ දෙන්නා අතරේ තිබ්බ හොද ෆිට් එක නම් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගිහින්.හැබැයි ඉතින් කතා නායකයා නම් එයාගේ හොදම යාලුවත් එක්ක කිසිම තරහක් තියා ගත්තේ නැහැ.එයාට හදවතින්ම සුභ පැතුවා.

ප.ලි - මේක සිරාවටම වෙච්ච කතාවක්. කතා නායකයාට නම් රටේ (අ)වාසනාවට මන්ද කැම්පස් යන්න ලැබුනේ නැහැ.මිනිහා නම් තාම ලංකවේ ඉන්නවා.හොදම යාළුවයි අර කෙල්ලයි දෙන්නා ලංකාවෙන් ඈත දුරු රටක තම තමන්ගේ ඉතුරු අධ්‍යාපනය කටුයුතු කරගෙන ඉන්නවා.

ප.ප.ලි - මේ පොස්ට් එක ටිකක් දිග වැඩි උනා.ලියපු දිගම පොස්ට් එකද මන්දා. . .

Wednesday, July 20, 2011

සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය

මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.

සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න.

"  සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "

සරසවිය - The Jurasic Park 
භාරකරුවන්( ඩීන් ) - King Kong
උප ප්‍රදානින් - Hulk
ලෙක්චර්ස් ලා- Alians
ලැබ්ස් - Planet of the Apes
බැච් එකේ ඉන්න කොල්ලෝ - Desperators
බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
විෂය නිර්දේශය - Deep Blue Sea
විභාග - The Mission Impossible
පරීක්ෂකවරු - Terminator
උපාධි  ප්‍රතිපල -2012



Monday, July 18, 2011

අපි හැමදාමත් තරු වෙමු අහසේ

මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.

සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේ
පිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේ
හෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ 
සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේ


මං රහසක් කිවුවා - සියොතුන් හොරෙන්ම ඇහුවා
කහ මල් පෙත්තක් මත ලිවුවා -රතු සමනලයින් කවි කිව්වා
හෙට පාන්දරම පිනි වැටී තියේ - පිණි මාල ගොතමු හිරු කෙදිත්තියෙන්
මල් පොකුරින් සුවදින් පිරුණු දැයේ - සමසුන් මිනිසුන් වෙමු තුරුණු වියේ


සෙත් කවියක් ලියුවා - මව් බිම රැක දෙන්නට කිව්වා
සුදු වළාකුලක් අත යැවුවා - දෙව්ලොව කවියන් කවි කිව්වා
අද පැහැසර නුවණැස පිපීතියේ - මුතු අහුරක් රන් මත ඈලි ගියේ
සද සිත් සෙනෙහින්මයි පිරි ගියේ -විශ්වය විල් තෙර තරු රටා තියේ


සිත් මල් නොතලා පෙති නොපෙලා - තහන්ච් පවුරෙන් ලොව දිනනා
සරතැස සුළගට විසිකරලා - ඉසිවර නෙත්කමින් සැරසිලා
අත්වැල නොසිදා මතු කිසිදා - හිරි මල් මිතු හැගුමින් ඉදිලා
කදුළට සුසුමට වැට බැදිලා - යූද ගිනි නැති මව් බිම වැදලා



ඔය යු -ටියුබ් විඩ්යෝ එක නම් මේ සින්දුව ඉසිපතන විද්යාලයේ තිබ්බ ප්‍රසංගයකදී කියන එකක්.ඔරිජිනල් සින්දුවේ අයිති අයත් මෙතන ඉන්නවද කියලා නම් දන්නේ නැහැ. මේ සින්දුවට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ පසන් ලියනගේ , සින්දුව ලියලා තියෙන්නේ ගිහාන් චාමික කියන දෙන්නා. මේ සින්දුවම තමයි දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකේ දෙවැනි අදියරේ කට්ටියත් අවසන් තරගයේදී කියලා තියෙන්නේ.

Monday, July 11, 2011

ගන්නවනම් මෙන්න පොත්

මේ දවස් ටිකේම පොස්ට් එකක් ලියන්න බැරි උනා.අන්තිම සෙමෙස්ටර් ඒක හින්ද ප්‍රෝජේක්ට්ද , ප්‍රසන්ටේෂන් ද වැඩ කෝටියයි.මට බ්ලොග් එකට වැඩිය ලියන්න බැරි උනාට අනිත් අය ලියපුවා නම් කියෙව්වා,පුළුවන් විදියට කමෙන්ට් කරා.අදත් මේ කියන්න හදන්නේ බුකියෙන්ම සෙට් උන කතාවක්.

අපේ අය IT කරාට මොකද හොදට පොත් පත් එහම ලියන්න කියන්න පුළුවන්(ලු).ඒක හින්දා පලවෙනි ,දෙවෙනි වසරවල ඉන්න අපේ පොඩ් අයට කරන උපකාරයක් විදියට පොත් සීරිස් එකක් ලියන්න පටන් අරගෙන.මේ පොත් සීරිස් ඒක ප්‍රදාන වශයෙන්
කැටගරි 3 තියෙනවා

1. IT සම්බන්ධ පොත්
2. Communication Skills - සන්නිවේදන කුසලාතා සදහා වෙන්වූ පොත්
3.ආදරය සම්බන්ධ පොත්

IT පොත් වලින් ටිකක් නම් කලොත්
   1.How to do MCTS in 12 hours
   2.Write a Report in 2 hours
   3.How to do Litreature Survey in 5 hours
   4.How to write  Progress Reports without having a Progress

සන්නිවේදන කුසලතා වර්ධනයට හදපු ඒවාට තියෙන පොත්
   1.How to do presentation without practicing it
   2.How to Cheat Your Instructor in presentation

ආදරය සම්බන්ධ පොත්
   1.සිංහලෙන් ආදරය කිරීම I ( මේක නම් ලියන්නේ අපේ නම්බුවා , ආරංචි විදියට කොටස් දෙක තුනක්ම එන ලකුණු තියනවා )

තව මීට අමතරව " වින්ඩෝස් හයිබ්‍රිඩ් " ගැන ලියවෙන පොත් සීරිස් එකකුත් එනවා.එකේ සියලුම සංස්කරණ කටුයුතු කරන්නේ අපේ සොනික් තුමා විසින්.මේ පොතේ නම් බිල්ගේට්ස් හොයාගත්ත වින්ඩෝස් වලටත් වඩා අලුත් දේවල් ඇතුලත් බවයි කියවෙන්නේ.

මේ පොත් භාවිත කිරීමට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.ඕන කරන එකම දේ තමයි හොදින් හුස්ම වැටෙන එක.
Communication Skills පොත් සෙට් එකටනම් අත පය හොලාවන්න පුලුවන් නම් හොදටම ප්‍රමාණවත් කියලයි කට්ටිය කියන්නේ.

Tuesday, July 5, 2011

සිහිනය සිහිනයක්ම විය

මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....

ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ උනාමයි.හ්ම්ම්ම්..

කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්‍රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ආවා.හීනෙන් වත් හිතපු නැති එකක් උනේ.අන්තිම අවුරුද්දේ එක සබ්ජෙක්ට් එකකට හරි Grade එක අඩු වෙනවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.මුළු අවුරුදු 3 ම කරපුවා ඉවරයි.

මගේ පුද්ගලික අදහස නම් viva එක හොදට evaluate කරේ නැහැ කියන එකයි.කොටින්ම ඉතින් evaluate කරන කෙනා ලියපු code නොබලනවනම් මොනවා කරන්නද.කොහොමින් හරි ඉතින් එකේ පාඩුවක් උනේ අපිටම තමා ...

මට උන දේ උන අය නම් ගොඩක් ඇති, හැම ආයතනයකම ඔය දේ අඩු වැඩියෙන් තියෙනවා ඇති.අනේ මන්ද ඉතින්...ඔය වෙන වෙන පරිබාහිර කාරණාවලට ලකුණු දෙන එක නම් කොහොමත් අනුමත කරන්න බැහැ.කෙල්ලෝ වැඩියෙන් ඉන්න ගෘප් වලට එහෙමත් නැත්නම් දැන ඇදුනුම්කම් වලට වගේ..

එක අතකට ඉතින් උන දේ උනා.තවත් ජීවිතයට අත්දැකීමක් එකතු උනා. ! ! ! ! !
දුකක් නැහැ කියන්න බැහැ..හීන කියන දේවල් බිදවැටෙන කොට දුක වැඩියි......

     Thanks For Ruining My Hopes and Dreams !!! 

Sunday, July 3, 2011

මදුරුවෙක් කතාකරයි



මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.

සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න හිටින්න නිවාස ඇතිකිරීමට මාසික ක්‍රමයට කොන්ත්‍රාත් ගෙන ඇති නිසාය.ඔවුන් තරගයට මෙන් මට නිවස තනා දෙන අතර ඒවා කඩා දමන්නට හදන්නේ දඩ කොලයක් ලැබුනොත් පමණි.එම නිසා මා බැලීමට මුදල් ගෙවා සත්තු වත්තට නොයා යුතු අතර මා ඔබ සියළු දෙනා බැලීමට පුද්ගලිකවම පැමිණේ.මුදල් නොගෙවා බැලිය හැකි එකම සතාද මා විය හැක.

මගේ ප්‍රියතම කෑම සහ බීම ලේ ය.මම ලේ බීමට රුසියෙකි වෙමි.නමුත් මම ඩ්රැකුයාලට නෑ හිමිකමක් නොදක්වන අතරම  අර වැම්පයර්ද මොක්කුන්ටද කිසිදු සම්බන්දයක් නොදක්වමි.දැන් දැන් මට හිතිලා තියෙන දේවල හැටියට "ඩෙංගුලයිට්" කියා ෆිල්ම් කටුවක් ගහන්නටද හිතේ.එවිට ඔය ඇති පදමට වැම්පයර්ලට ආලේ කොරන අයට ඉකි ගසමින් එය නරඹන්නට හැක.මෙහෙම හිටියට අපිත් හොද ඇග පත තියෙන කොලු මදුරුවෝය.

තවද මෙම රටේ සින්දු කියන එක්කෙනකු අපේ වරිගෙ එවුන්ට මල් පැණි බොන්නට ඉගැන්වීමට වරෙක උත්සාහ කළේය.එව්වා කොහෙද අපේ එවුන් එක්ක.අපිට මල් පැණි බීම ඉගැන්වීම කෙසේ වෙතත් අදාළ අය වෙන වෙන පැණි වර්ග නම් බොන්නට ඇති බව අපගේ අදහසයි. අපේ වරිගෙ විනාශ කරන්න එන අයට අපි දැඩි ප්‍රහාර එල්ල නොකර මිස පසු නොබසියි.එය අපගේ මදුරු ශක්තියයි.

මේ ලගදි දවසක අපිට ඩ්.ඩ්.ට් ද මොනවාද ගහන්නට කට්ටියක් උත්සාහ කළේය.නමුත් ඉතින් මේ රටේ දී සාමාන්‍යයෙන් වැඩක් ලේසියෙන් කොරන්නට බැරිය.මැටි-ඇමැටිලගේ කඹ ඇදීමට පින් සිදු වන්නට ඒ කරදරෙන්ද අපි බේරුනි.අපිත් මැටි-ඇමැටිවරුත් දෙගොල්ලන්ම ගොඩ ගියහ.

අපගේ මදුරු මිතුරෝ විවධ ක්‍රීඩා කරන අතර ක්‍රිකට් ඉන් විශේෂයි.පන්දු යැවීමට උපන් හපන් කමක් දක්වන අපේ අය යවන දහර පන්දු වලට කියන්නේ "මදුරු දගර" කියාය.

මේ රටේ අපේ නමෙන් අලුත් වාහනයක්ද ඇත.ටිකක් විපරම් කොට බැලු විට එය බයිසිකලයකි.මොන අටමගුලකට එයට මදුරුවා කියනවාදැයි මම නොදනිමි.පළමු කොට එයට පියාපත් වැනි දෑ ඇතැයි මා සිතුවත් එයට ඇති පියාපතක් නැත.කෙසේ වුවත් එහි යන්නවුන් නම් උන්ට පියාපත් ඇතැයි සිතා එහි යන බව නම් මට හැගේ.

මම සාමාන්‍යයෙන් ශබ්ද වලට බිය ඇත්තෙක් වෙමි.විශේෂයෙන්ම චටස් යන ශබ්දය සමග එන පහරට මම බිය වෙමි.මන්ද ඒ පහර බොහෝවිට භයානක නිසාය.තව කිමට ඇති මදුරු කතා බොහෝය, නමුත් වෙලාව හරස් වී ඇත. එම නිසා අදට මදුරු කතා එපමණය.වැඩි වෙලාවක් සිටියොත් මේ කොටන යතුරු පුවරුව අයිති බුවාගේ පහරකට මා ගොදුරු විය හැක.

සැ.යු - මෙහි සදහන් සියළු කරුණු මගේ මදුරු සිතේ ඇතිවු මදුරු අදහස් පමණක්ම බව සලකන්න.

Saturday, July 2, 2011

ජිවිත කවිය


ජීවිතය යනු 
විටකදී මිරිගුවක් මෙන් නොපෙනෙන..
ගංගාවක් මෙන් සැඩ මවන..
ප්‍රේහෙලිකාවක් මෙන් ප්‍රශ්නයක්
වන්නාවූ දෙයකි...
ජිවිත මිරිගුව 
පසුපස  යන්නා

මොහොතෙන් වෙහෙසට පත් ව

පැතු දේ නොලැබුන කල හඩා වැලපේ....

ජීවිත ප්‍රේහෙලිකාව

විටක සතුට ගෙන දෙන අතරම
විටක කදුළු ගංගාවද මවයි....


මේක මම ලියපු එකක් නම් නෙවෙයි.මගේ හොදම යාලුවෙක් ලියපු එකක්.හොදයි කියලා හිතුන නිසා මම දැම්මා.මේක දැම්මට පස්සේ කොපි රයිට්ස් එහෙම ඉල්ලයිද දන්නේ නැහැ.