Thursday, April 26, 2012

අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!

දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!

Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.

Tuesday, April 3, 2012

වාසගමේ ප්‍රයෝජනේ

මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්‍න‍ දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "