Tuesday, March 27, 2012

ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Comments

ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා  විදියට ආවත් තාක්‍ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්‍රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).

ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ එක්තරා ආකාරයක උදව්වක්.අවධානය ලැබිය යුතු එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ අවධානය ලැබෙන්නේ නැති කුමක් හෝ ප්‍රවෘත්තියකට ඒ අදාළ ලැබිය යුතු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබා දීමට මේ ගොසිප් සයිට් වලට හැකියාව තියෙනවා.මොකද Google ( දැන් නම් නම කියන්නත් බයයි ) , Yahoo , Facebook වගේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වැඩියෙන්ම පිරිසක් නරඹන වෙබ් අඩවි වෙන්නේ මේ ගොසිප් සයිට්ස්.ප්‍රවෘත්ති සදහාම පමණක් තියෙන වෙබ් අඩවි පවා සමහර අවස්ථාවල මේ ගොසිප් සයිට් විසින් අභිබවා ගිහින් තියෙනවා.

මේ ගොසිප් අඩවිවල තියෙන එක විශේෂත්වයක් වන්නේ කතෘ නාමිකව පෙනී නොසිටීමයි.ඒ නිසා මේ සයිට්ස් එක්තරා ආකාරයක දැලි පිහියක් විදියටත් නම් කරන්න පුළුවන්.ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකට අපහාස කිරීමටත් ( ඕනෑකමක් තියේනම් ) මේ අඩවි භාවිතා කරන්න පුළුවන්.

මේ සයිට්ස් වල කමෙන්ට් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වගේම තමයි ඒ කමෙන්ට් කෙරෙන්නේ බොහෝවිට තමන්ගේ දේශපාලනය,රුචි-අරුචි කම් මතයි.මේ ලිපිය ලියන්නට හිතුනෙත් කමෙන්ට් කතන්දරයකි.ඒ කථාව මෙහෙමයි.

ගායක අමරසිරි පිරිස් මහතාගේ ගීත Ring-n-tone සදහා අනවසරෙන් භාවිතා කර තිබු බවට ගොසිප් අඩවියක් පහු ගිය දවසක වාර්ථා කරලා තිබුනා. ඒකේ තිබ්බ විදියට ජනප්‍රිය තරුණ පොප් ගායකයෝ දෙන්නෙක් තමයි මේ වැඩේට සම්බන්ධ. දැන් ඔය ටික කිව්ව ගමන්ම මතක් වෙන්නේ කවුද ????

ඔය නිව්ස් එක තිබ්බ පොස්ට් එකේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය මේ ගායකයෝ දෙන්න භාතිය - සන්තුෂ් කියලා නිගමනය කරලා තිබ්බ.ඒ විතරක් නම් මදෑ , භාතිය - සංතුෂ් ගේ නෑදෑ - හත්මුතු පරම්පරාවම මතක් කරලා හොදට බැනලත් තිබ්බා.සින්දු රිමික්ස් කරන තැන ඉදන් - සංගීතය කාබාසිනිය කරනවා කියන තැනට එනකන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලත් තිබ්බා.

හැබැයි මුලින්ම ප්‍රවෘත්තිය ගිය සයිට් එකෙන්ම භාතියගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා.ඔහු සමහ තිබුණ සම්මුඛ සාකච්ඡාවත් ඒ සයිට් එකේ පළ කරා. භාතියට අනුව ඔවුන් මේ දේට කොහොමටවත් සම්බන්ද වෙලා නෑ.Ring-n-tone වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනමම කෙනෙක්.ඒ උනාට අදාළ ප්‍රවෘත්තියට තටු ඇවිල්ලා වගේ ප්‍රචාරය උනේ වෙනමම විදියකට.

දැන් තමයි හොදම හරිය , කලින් පොස්ට් එකේ භාතිය-සන්තුෂ්ට පලු යන්න බැනපු අයම දැන් අලුත් පොස්ට් එකේ කමෙන්ට් දාලා අමරසිරි පිරිස් මහත්මයාට බනිනවා , කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක් වැරදි කාරයෝ කරන්න හැදුවා කියලා.

අපේ රටේ අයගේ කන්න ඕන උනාම තලගොයත් කබරගොයා කර ගන්න ප්‍රතිපත්තිය තමයි මේ සිද්ධියෙදී උනත් පේන්නේ.කවුද හරි,කවුද වැරදි කියලා හොයන්නේ බලන්නේ නැතිව කාට හරි බනින්න තියෙනවානම් ඉතින් අපේ අයට එච්චර තමයි ඕනෑ.

ප.ලි - ගොසිප් සයිට් කරන සේ‍වය අවතක්සේරුවට ලක් කරන්න කිසිදු චේතනාවක් නොමැත.ඔවුන් කරන සේවය අතිවිශිෂ්ඨය.

ප.ප.ලි - ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කරන එක්තරා සෙට් එකක් ඉන්නවා.කමෙන්ට් කරන විදිය / කමෙන්ට් කරන නම් / පාවිච්චි කරන වචන වගේ රිසර්ච් එකක් කරන්න තරම් කරුණු එතැන තියෙනවා.

Thursday, March 22, 2012

ආදර ජාති - Types of Love

අපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ).

කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්‍රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.
  • බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.
  • නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.
  • ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.
  • බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )
ඔය ටිකට අමතරව තවත් ආදර ජාති හම්බු උනොත් අටපට්ටමට කියන්න ඕන හොදද !!!

ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.

Sunday, March 18, 2012

බස් මාකටින් - "Marketing" in a Bus

අද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන - කිරිබත්ගොඩ බස් මාර්ගයේදියි කොටුව බස් නැවතුම්පොළේදීයි.

පළවෙනියටම ඉන්නේ සාමාන්‍ය වෙළෙන්දෝ.ඉස්සර නම් මොනවහරි පලතුරු / ටොෆි / චොකලට් වගේ දේවල් ගෙනාවත් දැන් දැන් අයිස් වතුර බෝතල් වල ඉදන් සැහැල්ලු ආහාර විකුණන තත්වයටම දියුණු වෙලා.කොටුවේ නවත්තලා තියෙන බස්වල නම් මේක ඕනෑ තරම් තියෙනවා.

දෙවැනියට ඉන්නේ කිසිම දෙයක් විකුණන්නේවත් නැහැ මුකුත් කරන්නේ නැහැ , හැබැයි අනුකම්පාව දිනාගෙන කියක් හරි ඉල්ල ගන්න බලන අය.සමහරුන්ව නම් ඉතින් දැක්ක ගමන් පේනවා කිසිම අමාරුවක් නැහැ කියලා ඒ උනාට ලෝකේ නැති අමාරුකම් කියවනවා.ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙනව , අපි සල්ලි දෙන්නේ අපි හිතේ හොද චේතනාවකින් නේ ඒ නිසා අදාළ කෙනා කියන්නේ ඇත්ත හෝ බොරු හෝ ඒ දේ අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනි ටයිප් එකත් ට්කක් ප්‍රසිද්ධයි.ඒ තමයි බස්වල පොත් පත් විකුණන එක.බෝධි පුජා කවි / ගාථා පොත් ඒ වගේම සිංහල / දෙමල / ඉංග්‍රීසි වචන 1000 පොත් වගේ ඒවා තමයි ගොඩක්ම විකුණන අය ගේන්නේ.අනිත් විශේෂත්වය වෙන්නේ මේවා විකුණන්නේ පොත් 4 ම රුපියල් 100 කියලනේ.ඒ නිසා පොත අනවශ්‍ය උනත් ලාභ නිසා පොත් ගන්න අය ඕනෑ තරම් ඉන්නවා.

දවසක් බස් එහෙකට නැග්ගා ඔහොම පොත් විකුණන කෙනෙක් , විකුණුවේ අවසාන සටන කියල පොතක්.බස් මාකටින් වල දෙවනියට හොදම මාකටින් එක විදියට මම නම් කරන්නේ ඒක තමයි.පොර මෙන්න මේ විදියට තමයි විකිණුවේ.

" අම්මේ තාත්තේ අපි අද ඉන්නවා හෙට මැරෙනවා , ඒ උනාට අවුරුදු 30 තිස්සේ තිබ්බ යුද්ධය තිබ්බ විදිය දන්නේ අපි විතරයි.. ඔබේ දුව පුතා ඒ දේ දන්නේ නෑ.. ඒ කුරිරු යුද්ධය ඉවර කරපු හැටි දන්නේ නැහැ..අද දෙපැත්තේ හිටයත් මහින්ද මහත්තයයි , සරත් මහත්තයයි යුද්ධේ ඉවර කරපු හැටි ඔබේ දුවා පුතා දැන ගන්නම ඕන.. මේ පොතේ තියෙනවා ඒ විස්තරේ අකුරින් අකුර..දවසින් දවස විස්තරේ..පින්තුර ඔක්කොමත් එක්කම අවසන් සටනේ විස්තර ඔක්කොම තියෙනවා.. "

ඔය කිව්ව විස්තරේට අමතරව සුදූ කොඩි කේස් එකත් එහෙන් මෙහෙන් විස්තරේට දැන්මා..බස් එකේ මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමණයක් ඔය පොත නම් ගත්තා.

හතරවෙනි ටයිප් එක තමයි මාල විකුණන වැඩේ.මේකත් 154 නම් ඕනෑතරම්.මේකෙදි වෙන්නේ කවුරුහරි බුවෙක් බස් එකට නැගලා ඉමිටේෂන් මාල විකුනනවා හැබැයි මේ මාලවල පාට යන්නේ නෑ මොනවා කරත් ( එහෙම තමා කියන්නේ ).ඒක පෙන්නනවා පහේ කාසියකින් හුරලා.ඕන කෙනෙක්ට අල්ලලා බලලා චෙක් කරන්න පුළුවන්.රුපියල් 150 කට තමා විකුණන්නේ.හොදම දේ කියන්න By one Get One Free Offer එකක් තිබ්බ වැලන්ටයින් දවසේ , මාලයක් ගත්තොත් පෙන්ඩන් එකක් නිකන් දුන්නා ( 154 බස්වල )

පස්වෙනි ටයිප් එක සහ මට අනුව හොදම මාකටින් ඇක්ට්  එක. මේක කරන්නේ සෙනග අඩු බස්වලදී. බස් එකේ ඉස්සරහින් තමයි වැඩේ කරන බුවා නගින්නේ , නැගලා ළගම  තියෙන රැක් එහෙක බුරුලියට නුලක් ගැටගහනවා.ඊට පස්සේ ඉස්සරහට ගිහින් තමන් කරන දේ ගැන කියවනවා පොඩ්ඩක් ( මට කියපු දේ නම් හරියටම ඇහුනේ නැහැ ) . ඊට පස්සේ කරන්නේ අර නුලේ එක කොනක් නහය ඇතුලට දාගෙන පොඩ්ඩ පොඩ්ඩ අදිනවා.ඇදලා සම්පුර්ණ නුල්ම දාගන්නවා නහය ඇතුලට , ඊට පස්සේ බස් එකට ඇහෙන්න කියනවා " මම දැන් ඔයගොල්ලෝ දැක්ක නුල මගේ නහය ඇතුලට දාගත්තා , මම මිට කලින් දාගත්තු නුල ගන්නත් මට ඔපරේෂන් එකක් කරන්න ඕන උනා..මේ දැන් මගේ නහය ඇතුලට ගියපු නුල ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙයි..අනේ ඉතින් එකට පුළුවන් විදියට කීය කීය හරි දෙන්න " කියලා. ආතල්ම වැඩේ කියන්නේ ඉතින් අපි කවුරුත් මිනිහට නුලක් දාගන්න කිව්වේ නැහැ නේ , මිනිහම නේ දාගන්නේ. ඒ උනාට අනිත් හැම එහෙකට වඩා ( පොත් විකුණන එක ඇරෙන්න ) වැඩියෙන්ම සල්ලි ලැබුනේ මේකට.මොකද මේක කරපු බුවා කරපු වැඩේ නියමෙටම කරා.

ඔය එක එක මාකටින් ක්‍රම වලට හොයන සල්ලි මොනවට වියදම් වෙනවද කියලා නම් දන්නේ නැහැ හැබැයි ඉතින් මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හොයනවට වඩා ඉතින් කටේ බලෙන් සල්ලි හොයන එක හොදයිද මන්දා.

මේ මාසේ ලියපු මගේ මතය කැටගරි එකේ පොස්ට් එක
ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ද ?

Sunday, March 11, 2012

ලොකු සීන්

සුපුරුදු මා නුපුරුදු ලෙස
හිටියේ ඔබ කෙලෙසද තව

දෑ අවුරුදු මල ඉලව්වේ
ගයපු ගැයුම් අමතකද තීට

ඒ කාලේ කියපු කෙරුම්
ඉතුරුව ඇත හදවතෙහි තව

මැරුණත් මා හෙට අනිද්දා
නැත යන්නේ මතකයෙන් එය

කරපු කියපු ලොකු සීන් නම්
කවදත් නෑ දිරවූයේ මට

කැමති ඕන නැටුමක් දැන්
ඕන ලෙසක නටත හැක

අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට

ප.ලි -  ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්.  ;)


Wednesday, March 7, 2012

ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?

[පින්තුරේ ඉස්සුවේ ගුගල් දෙයියගෙන්]
මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම්  නොවීය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන් පිළිබඳ එතරම් ගැටළුවක් නොවුවත් සමස්ථ උළෙල අසාර්ථක පැත්තට බරය.

පළමු උළෙලේ තිබු අඩුපාඩු මගහරවමින් පැවැත්වූ දෙවැනි සම්මාන උළෙල විශිෂ්ට අන්දමින් පැවැත්විය.සරලවම පැවසුවහොත් ජාත්‍යන්තර සම්මාන උළෙලක තිබිය යුතු ප්‍රමිතිය හැකි පමණ ආරක්‍ෂා කරගනිමින් දෙවැනි උළෙල සංවිධානය කර තිබින.පසුතල අලංකරණය, ආලෝකකරණය ඉතා මැනවින් සිදු කර තිබු අතර ගීත නිර්මාණ අතරට එක්කර තිබු නාට්‍යමය ජවනිකා මගින් උළෙල තවත් අලංකාරවත් කර තිබුනහ.

නොකඩවා තෙවැනි වරටත් මෙවර Music Video උළෙල පැවැත්වුන අතර කණගාටුවෙන් වුවද පැවසීමට ඇත්තේ දෙවැනි වර පැවති සම්මාන උළෙලහි තිබු කික්  එක මෙවර තිබුනේ නැති බවය. දෙවැනිවර තිබු සම්මාන උළෙල තිබු අපුරු හැඩතල කිසිවක් මෙවර තිබුනේ නැත. පසුගිය සම්මාන උළෙලවල් හිදී  ජනප්‍රිය අංගයක් වූ  දුකා - රුක්ෂාන් එකතුව සිදු කරන මඩ ගැසීමේ  අංගය මෙවර තිබුනේ නැත , ඒ වෙනුවට දුකා පමණක් පැමිණ මොනවද සිදු කර වේදිකාවෙන් ඉවත් විය. හාස්‍යෝත්පාදනය සෑම විටම එක ලෙස සිදු කිරීම අපහසු බව සැබෑ වුවත් මෙවර මඩ ගැසීමේ  අංගයට එතරම් සුදානමක් තිබු බවක් නම් පෙනෙන්නට නොතිබින.

සුපුරුදු ලෙසම ගියවර මෙන්ම නිවේදන කටුයුතු සදහා සිටියේ අනර්කලී සහ සාරාංගය.දේශපාලන අනාගැනීම් කුමක් වුවත් ලංකාවේ කඩ්ඩ නිවේදනය සම්බන්ධයෙන් අංක එක අනර්කලීය.ඊටත් අමතරව දැන් අනර්කලී සිටින්නේ වෙනත් නාලිකාවක් සමගය.එසේ තිබියදීත් අනර්කලීට නිවේදනයට ආරාධනා කිරීම සහ ආරාධනාව පිළිගැනීම ගැන දෙරණත්, අනර්කලීවත් අගය කල යුතුය.මන්ද ලංකාවේ මේ තාක් කල් ( නාරද බක්මීවැව හැරුන කොට ) ස්වාධීන මාධ්‍යවේදී  සංකල්පය තිබු කෙනෙක් මා දැක නැති නිසාය. ( මෙහිදී ස්වාධින මාධ්‍යවේදී යනුවෙන් මා අදහස් කරන්නේ එක නාලිකාව සිර නොවී සිටීමය ) .වෙනදා මෙන්ම සාරංගත් තමන්ගේ නිවේදන කාර්‍යය නිර්මාණශිලිව ඉටු කෙළේය. කමල්ගෙන් පසුව නිවේදනය කොපි නොකර කල හැකි පරපුරක් සිටීම ගැන අවංකව සතුටු විය හැක.

ජනප්‍රියම සම්මාන සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කල දා පටන්ම බලාපොරොත්තු වූ පරිදිම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීඩියෝවට හිමි සම්මානය ලැබිණ.ගියවර රම්බරි  ජනප්‍රියම ගීතය වූ අයුරින්ම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීමට ඕනෑ තරම් හේතු ඇත.එම වීඩියෝවේ ඕනෑ තරම් අමා ලක්ෂණ ඇත. ;)

සම්මන උළෙලේ කිසිදු සම්මානයක් සම්බන්ධයෙන් මා හට ගැටලුවක් නොමැති වුවත් හොදම වීඩියෝවට හිමි සම්මානය පොලිසිය වීඩියෝවට ලැබිම ගැන නම් ගැටලුවක් ඇත. කසුන් ගේ කදුළු වීඩියෝවත් පොලිසිය වීඩියෝවට වඩා සිය ගුණයක් ඉදිරියෙන් සිටියි.

සමස්ථයක් ලෙස උළෙලේ මා දුටු සුවිශේෂීම අවස්ථාව වුයේ , අහන් ඉන්න - අහගෙන ඉන්න ගීතය ගායනා කරන මේකලා ගමගේ  හොදම නවක නිර්මාණ ශිල්පියාට හිමි සම්මානය ලැබුණු අවස්ථාවයි. කසුන් කල්හාර අතින් ඒ සම්මානය ලබාගන්නා අවස්ථාවේදී උළෙලට පැමිණි සියලු දෙනාම පාහේ  තමන්ගේ අසුන්වලින් නැගී සිට මේකලාට තමන්ගේ ආචාරය පුද කර සිටියහ.

අවසාන වශයෙන් සාම්ප්‍රදායික සම්මාන ආකෘතියෙන් මිදී අලුත් යමක් කිරීමේ උවමානව ඇති දෙරණට සුභ පතන අතරම ලංකාවේ පවත්වන අනිකුත් සම්මාන උළෙලවල් අවම වශයෙන් මේ තත්වයෙන් වත් පැවැත්වීමට සම්මන උළෙලවල් සංවිධානය කරන උදවියට හැකි වේවායැයි ප්‍රාර්ථනා කරමි.

Sunday, March 4, 2012

ක්‍රිකට් - අතුරු කතා

අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.

මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය පටන් ගන්නකොට ලංකාවේ ටීම් එක හිටපු තැනත් එක්ක බලනකොට අපි අද ෆයිනල් එකට ආපු එකම ලොකු දෙයක්.අවුරුදු ගානක් තිස්සේ ලෝක ශුරයෝ එතකොට වර්තමාන ලෝක ශුරයෝ ( නමට හරි ) , අනුශුරයෝ සෙල්ලම් කරන මේ තරගාවලිය කොහොමත් උණුසුම් තමා.

මේ සිරිස් එකේ අන්තිම හරියේ තිබ්බා ඉන්දියා - ශ්‍රී ලංකා මැච් එක කට්ටියට මතක ඇති නේ.ඒ මැච් එක ලංකාව දින්නොත් ඉන්දියාව‍ කෙලින්ම ගෙදර , ඉන්දියාව දින්නොත් ( බෝනස් ලකුණක් ) එක්කම එයාලට තරගාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් නේ තිබ්බේ. ඔය මැච් එකේ අපි මුලින්ම බැට් කරලා 320 ගැහුවනෙ.දැන් අපේ කට්ටිය ෆුල් සතුටින් නේ හිටියේ , මැච් එක අත උඩින්ම දිනුම් කියලා. ඒ උනාට ඉතින් පස්සේදී උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේ. ඉන්දියාව කිසිම ගේමක් නැතිව 320 ලබා ගත්තා විතරක් නෙවේ බෝනස් ලකුණත් ගත්තා. විරාට් කෝලි 100කුත් ගැහුවා.

දැන් ඒක නෙවයි ප්‍රශ්නේ.කෝලි එකපාරට කොහොමද මෙහෙම ෆෝම් උනේ කියන එකයි.මොන දේකට උනත් ඉතින් උත්ප්‍රේරනයක් ( Motive ) එකක් තියෙන්න ඕන නේ. නැත්තම් ඉතින් ඕන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේ.. ඔන්‍න‍ ඕකට උත්තරේ බුකියේ ෂෙයාර් වෙලා තිබ්බ මෙන්න මේ පින්තුරේ තියෙනවා..

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔහොම කියනවනම් ඉතින් මොකාද ෆෝම් වෙන්නේ නැත්තේ මං අහන්නේ.. හැබැයි හොදම හරිය එන්නේ දැන්. ඔය මැච් එකට පස්සේ තිබ්බනේ ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා තරගය.එකෙන් ලංකාව දින්නොත් අපි ෆයිනල්ස් යනවා ( ඉන්දියාව ගෙදර යනවා ) , පැරදුනොත් ඉන්දියාව ෆයිනල් යනවා ( අපි ගෙදර එනවා ) සීන් එකක් නේ තිබ්බේ. අපේ කොල්ලෝ කොහොමහරි ඔය තරගේ දින්නනේ.දැන් ඉතින් අර කලින් පින්තුරේ හිටපු ගෑනු ළමයි දෙන්නට හිතෙන්නේ ඇති නේ , "කලින් දීපු ඔෆර් එක දීලා වැඩක් නෑ " කියලා.ඒ හින්දා එයාලා ඒක අයින් කරගන්න ඇති. අනේ අසරණ කෝලිට මොනවා හිතෙන්න ඇති නේද එහෙම උනා නම්.. ඔන්න ඕකට උත්තරෙත් තිබ්බේ මෙන්න මේ විදියට.

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔය අස්සේ ඉන්දියාවේ ගීත දර්ශවලට ( Chat List ) වලට මේ දවස්වල සිංහල සින්දුත් අහුවෙලා කියලයි කතාව යන්නේ. මේ දවස්වල පලවෙනි තැන තියෙන්නේ " ගහන්න එපා පොඩි දෝනි ට - බනින්න එපා " කියන සින්දුව.ඊළගට තියෙන්නේ " පුංච් දෝනි තරහා වෙලා " කියන එකලු.බලන්න නේ මැච් එහෙකින් කරන්න පුළුවන් දේවල්.

ඊළග එක තිබ්බෙත් බුකියෙමයි.මේක දාලා තිබ්බේ අපේ තුලන අයියා.IPL ගියපු අපේ සමහර ඈයොන්ට වදින්න තමා දාලා තිබ්බේ.හිතට වදින්නම දාලා තිබ්බ මේ දේ මට නම් සියට සියක්ම ඇත්ත.මෙන්න මේක තමා දාලා තිබ්බේ.

"Match එකක් තිබ්බම Office වල වැඩ නවත්තල Online Match බලන මිනිස්සුයි, පාරෙ යන ගමන් කඩේක දාල තියෙන TV එකකට ඔලුව ඔබල cricket match එක බලන මිනිස්සුයි, TV නැතත් වෙළඳ සේවයෙන් ඈපාසිංහගේ අතිශෝක්ති විස්තර විචාරය අහන මිනිස්සුයි, 6ක් ගැහුවත් Facebook එකේ Status Update එකක් දාන Cricket වලට ආදරේ කොල්ලොයි Match එකක් පැරදුනාම හදවතින්ම දුක් වෙන හැටි දන්නවා නම් සල්ලි වලට CRICKET ගහන එක අද ඉදන්වත් නතර කරපල්ල !"

හරි අදට ක්‍රිකට් ගැන එව්වා ඉවරයි..ඔන්න තවත් මේ වගේ අපුරු දේවල් එහෙම තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.

Friday, March 2, 2012

ක්‍රිකට් - විමසුම

අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට ස‍ටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.

එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් නැත.මන්ද පැරදුනේ අපේ ලොකු අයියට වන හෙයිනි.ඕනම පවුලක සිදුවනවා මෙන් අයියා , නගෝ ප්‍රශ්න අප රටවල් අතර ඇත.නමුත් පවුලේ ප්‍රශ්න පිටතට නොදිය යුතුය , පවුලේ දේවල් විසදීමට එහා ගෙදර මිනිහා අනවශ්‍ය.

මේ පරාජය බංකොලොත් දේශපාලන ඇසෙන් බැලීමට හැමදාම මෙන්  අපේ රටේ විපක්ෂය මෙවරද සුදානම් විය.ජිනීවාහිදී සම්මත වීමට නියමිත යෝජනාවෙදී අපිට සහය ලබා ගැනීමට අපි පැරදුන බවට ඒ බංකළොත් පක්ෂ පවසයි.එය එසේ වුවත් වරදක් නැත.මේ රටේ නමට පමණක් සිටින විපක්ෂයකට වඩා ඉන්දියාව මේ කරුණේදී අපි සමග එකට හිටියි නම් එය අපට හයියකි..චුටි නංගි අතින් වරදක් වුවාට , පවුලෙන් නෙරපා දමන සිරිතක් නැත.මේ කාරණා 'අලිමංකඩ කියා පාමංකඩ' යන අයට නොතේරෙයි.

එක පිට එක ජන්ද පරදින පක්ෂයකට අනුව නම් මේ පරාජයත් ලෝක කුසලාන අවසාන තරගයත් අතර සමානකමක් පවතියි.ඔවුන්ට අනුව ලෝක කුසලාන අවසන් තරගයත් අපි ඉන්දියාවට දිනන්නට දී ඇත.මේ තරගයත් ප්‍රසාද ලකුණක් සමග දිනන්නට දුන්නේ මානව හිමිකම් ප්‍රශ්නයට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසා බව ඔවුන් පවසයි.ඔවුන්ට අපිට දීමට ඇත්තේඩ ඉහත පිලිතුරමය.එනම් අප මේ කතාකරන්නේ ඉන්දියාව ගැන මිසක් ඇමරිකාව ගැන නොවන බවය.අප පැරදුනේ ඇමරිකාවට නො‍වන බවයි.ඒ නිසා පැරදුනාට හිතට දුකක් නැත. පැරදී ඇත්තේද අපේම කෙනෙකුටය. ඒ නිසා හිතේ සතුට ඇත.ඒ සතුට මේ රටේ සියලු දේශප්‍රේමී ජනයාට දැනෙනවා ඇත...

අදත් විමසුම පිටපත මිහින්ඩ අසෙබුන්දර ගෙනි....