Saturday, June 8, 2013

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!

මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි.

මෑතකදි රජය විසින් රටේ විදුලි බිල ඉහල දමන ලදී. එයට විරෝධය පලකරමින් විපක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එදිනම රජයට සහය පතා ( වෙනින් විදියකට කිව්වොතින් , විදුලි විල වැඩිකරාට කමක් නෑ කියා ) කට්ටියක් පාගමනක් ගියේය. අපගේ වාසනාවට මේ දෙගොල්ලෝ අතරමග හම්බුනේ නැත. එසේ වූවානම් තවත් සතියට ආතල්ය. 

අපේ රටේ වසරකට වරක්, සිරිතක් පරිදි පුද්ගලික බස් හිමියන් ස්ට්‍රයික් කරති. ඉස්සර නම් ස්ට්‍රයික් කරේ බස් ගාස්තු වැඩි කර ගන්න උනාට, දැන්නම් ස්ට්‍රයික් කරන්නේ යහපත් පුද්ගලික ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ උදාර චේතනාවෙන්ය. අනේ සාධු !! ඒ ඇරත් , දැන් ස්ට්‍රයික් කරන්නෙත් ඉස්සර එකට ස්ට්‍රයික් කල අය වෙන්වෙලාය. ගැමුණු මාමා ස්ට්‍රයික් කරනකොට අනෙත් කට්ටිය හ්ම්ම් සද්ද නැත. අනෙක් අය ස්ට්‍රයික් කරනකොට ගැමුණු මාමා සද්ද නැත. එය ද මාරම ආතල් එහෙකි.

මේ ළගදි සිදු වූ අනෙක් සිද්දිය වන්නේ සිරුරට ගිනි තබාගෙන හාමදුරුවෝ නමක් අපවත් වීමය. කල දේ හරි හෝ වැරදි හෝ වේවා, හාමුදුරුවන්වහන්සේ තුළ නම් අනිවාර්යෙන් උත්තරීතර චේතනාවක් තමන්වහන්සේ කරන්න යන දේ ගැන තිබෙන්නට ඇත. නමුත් දැන් සිදු වන්නේ, " අනේ ඉතින් අර හාමුදුරුවොත් තමන්ගේ දිවි පුජා කරේ හරකෙක්ට නේ" යැයි සමහරු පැවසීමය. සමහරු සිරිසඟබෝ රජු හිස දන් දීපු එක පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වති. අපේ අය මේ සිද්ධියත් ආතල් එහෙකට පෙරල ගත්තේ එසේය.

දැන් යලිත් ඇත්තේ ක්‍රිකට් වසන්තය යි., ඒ නිසා මේ (අ)මුතු රටේ ඉන්න අයට බස් ස්ට්‍රයික් එකවත්, විදුලි බිල වැඩි උන එකවත්, හාමුදුරුවෝ ගිනි තියාගත්ත එකවත් මතකයේ නැත. අපේ රටට හැම දෙයක්ම වගේ පැමිණියේ ළගම ඇති ඉන්දියාවෙන් ය. ඒ නිසාවෙන් ඉන්දියාව‍ අපේ ලොකු අයියා වී, අප චුටී නංගි වන්නේය. ශුරයන්ගේ කුසලාන ආරම්භයේදීත් මේ සම්බන්ධය අප මුළු ලොවටම නැවත කියා දෙන ලදී. අන් සෑම රටක්ම තම දේශිය සංගීත නාද රටා වාදනය වනවිට, අපේ ලංකාව හදුන්වා දුන්නේ හින්දි සින්දුවකට ය. මෙය වූ කලි කෙතරම් ආඩම්බරයක් ද ? ලයනල් රන්වල / රෝහණ බැද්දගේ නොඑසේනම්  භාතිය/සන්තුෂ් / ඉරාජ් ගේ සින්දුවක් වාදනය වුවා නම් මෙවන් දේශීය අභිමානයක් අප කෙසේ ලබාගන්නද ?

( අපේ කට්ටිය ගැන කියන්නේ 5.16 ඉදන් )



මෙතැකින් මේ රටේ සිදුවන ආතල් දේවල් නැතිවන්නේද නැත. මන්ද මේ රට ආතල් දෙන්නන්ගෙන්ද , ආතල් ලබාගන්නන්ගෙන්ද බහුල රටක වන නිසා ය. මෙවන් ආතල් රටක ජිවත් වීමද මාරම ආතල් එහෙකි. එම නිසා ලබන ආත්මයේදීත් මෙහිම ඉපිද ආතල් ලබාගැනීමට හැකි වේවා යැයි, ආතල් එකක් ගිය බැවින් මෙය ලියු මම ප්‍රාර්ථනා කරමි.

අදත් පිටපත නෑ එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ


Saturday, January 5, 2013

2013 සහ ශ්‍රී ලංකාව

2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන.

2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ් කට්ටට ගිහිල්ලත් මේ මාසේට හරියට අවුරුද්දක් වෙනවා.2013 ගත්තම ඉතින් ලොකු ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන, අවුරුද්ද ඉවර වෙනකන්ම ප්ලෑන් එහෙම ගහලා තියෙන අවුරුද්දක්.පුළුවන් තරම් ඉතින් හිතේ තියෙන දේවල් එකින් එක කරගන්න බලන්න ඕනේ ( බ්ලොග් එක ලියන එකත් ප්ලෑන් එහෙකම කොටසක් තමයි ඕන්න )

අපේ රට පැත්තෙන් කථාකරොත් ඉතින්, හැමදාම තියෙන විදේශික අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන වලට අමතරව ගිය අවුරුද්දට වඩා එක දශමෙකින්වත් දියුණු උනොත් නම් හොදයි.ඒ දියුණුවත් එහෙම නැත්තම් සවර්ධනයත් ඉලක්කම් සෙල්ලමක් නොවෙන තරමට වඩා හොදයි. ඊට අමතරව හොරකම් කරන, දුෂිත මිනිස්සුන්ගේ තොර වෙනවානම් හොදයි. ( ඔව් ! මම දන්නවා , ඒක නම් වෙන්නේ නැති බව ). මේ මාසේ පටන් ගන්නකොටම අපට තියෙනවා අගවිනිසුරුවරියගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර ( දිගට ඇදිලා ගියේ නැති උනොත් ), ලංකාවේ ඉදිරි දේශපාලනයේ ගොඩක් තැන් තීරණය වෙන්න එතුමියට ලැබෙන තීන්දුව හේතු වෙයි.

අද උදේ නැගිට්ට ගමන් ෆේස්බුක් එකේ දුකා අයියා ෂෙයා කරපු පොස්ට් එකක් දැක්කා. මෙන්න මේ දේ ගැන  තමයි කියලා තිබුනේ. ඔයිට අමතරව ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ ඉදන් සුපර් මාර්කට් ( නව අර්ථ දැක්වීමට අනුව : සුබෝපබෝගී මිනිසුන් ආහාර ගැනීමට යන තැනක් ) වල තියෙන ආනයනික භාණ්ඩ වලටත්  ටැක්ස් එකක් ගහලා. අනේ මන්දා අපේ රටේ ආර්ථික පාලනය නම් කොයිබටද කියලා ?

විදුලි මිල/ගෑස් මිලත් සහ තෙල් මිල ( සුපුරුදු පරිදි ලෝක වෙළද පොළේ බලපෑමට පරිදි ද මන්දා ) මේ මාසේ වැඩි වෙන්න පුළුවන් ලු. එහෙම උනොත් ගැමුණු මාමා ගිය අවුරුදුවල කරා වගේ සුපුරුදු ස්ට්‍රයික් සෙල්ලම දාලා අපිට කොකා පෙන්නයි, ඒ හින්දා එහෙම දේවල් වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ගමනාගමන බලය තියෙන අය ක්‍රියා කරොත් හොදා. එහෙම නැතුව ස්ට්‍රයික් එකට ඉස්සෙල්ලා 'පුළුවන් නම් ස්ට්‍රයික් කරපල්ලා' වගේ නැව් ටෝක් දීලා , පස්සේ මිනිස්සු බනින කොට ස්ට්‍රයික් එක දවසේ තියෙන විශේෂ සාකච්ඡාවකින් ඉල්ලලා තියෙන ඉල්ලීම් ට්ක දෙනවට වඩා.

ඊළගට අපේ රටේ ජාතික ක්‍රීඩාව විදියට සලකන ක්‍රිකට් පැත්තෙන් කථාකරොත්, ගිය අවුරුද්දේ අන්තිම ඉදන් කාගෙන කාගෙන එන කෑම මේ අවුරුද්දෙත් ඒ වගේම යන බව තමයි පේන්නේ. මේ දවස්වල තියෙන සිඩ්නි ටෙස්ට් මැච් එකත් දවස් 4 කින් ගොඩක් දුරට ඉවර වෙයී. අලුතින් එන්න ඉන්න ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න යන්නේ නම් සුළු පටු අභියෝගයක් නෙවෙයි අලුත් අවුරුද්දෙ , අපි බලමු මැතිව්ස් කොහොමද ඒ දේ කරන්නේ කියලා.

මේ හැම දේකින්ම පේන්න තියෙන්නේ 2013 ලංකාවට ගොඩක් ගොඩක් දේවල් වෙන්න පුළුවන් වසරක් වෙයි කියන දේ තමයි. ඉතින් අපි බලන් ඉමු !!

අපි ඔබ හැම දෙනාටම සුභ අනාගතයක්ම වේවා !!!!