Sunday, October 23, 2011

රිටර්න් ටු බ්ලොග්

මම හිතන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ගතකරපු අප්සෙට්ම මාසේ මේකද කොහෙද.මේ මාසෙටම ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි.අනිත් හැම මාසේම පොස්ට් හත අටක්වත් ලියපු මම මේ මාසේ මෙලෝම දෙයක් ලියලා නැහැ නේ.

ලියන්න බැරි උන එකට ඉතින් හේතු නැත්තෙත් නැහැ.අන්තිම අවුරුද්දේ අන්තිම විභාගේ තිබ්බෙත් පහුගිය දවස්වල.ඉතින් ඒකට පොඩ්ඩක් කාලේ යෙදෙව්වා.නැතිව ඉතින් බැහැනේ මේ අවුරුදු තුනම අවුලක් නැතිව කරලා, මේ අන්තිම එක අප්සෙට් ගියොත් එහෙම.විභාගේ කාරිය ඉවර උනාට මොකෝ ඉතින් තාම උපාධියේ වැඩ නම් ඉවර නැහැ.අන්තිම Viva එක තියෙනවා.ඒකෙන් පස්සේ ඉතින් අපිත් නිදහස් ගොවියෝ.

පොස්ට් එකක් ලියන්න බැරි උනාට අනිත් අය ලියපු කියපුවා නම් පුළුවන් විදියට කියවලා හිටියේ.අපේ කට්ටිය අලුතින් මාර මාර ටොපික් හොයාගෙන තියෙනවානේ ඉතින් ලියන්නත්.ඉතින් ඉස්සරහට නම් පුළුවන් විදියට ලියන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.මම ටිකක් ඉස්සර විනෝදෙට වගේ ලිව්වා ගන්නවානම් මෙන්න පොත් කියලා පොස්ට් එකක්.ඒ පොස්ට් එක තනිකරම කොමිටල් පොස්ට් එකක් උනාට ඒකට ආපු ප්‍රතිචාර එක්ක Communication Skills ගැන මට වගේම අපේ ගෘප් එකේ ඉන්න අනිත් අයගේ අත්දැකීම් ගැන පොස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපිටත් ඉතින් අවුරුදු තුනක්ම අත්දැකීම් තියෙනවානේ කොහොමද presentation එකක් එහෙම කරන්නේ කියන එක ගැන.

ඉතින් ඔය ටික තමයි අලුතින්ම වෙන්නේ , තව ඉතින් ඔයිට අමතරව පොඩි පොඩි අප්සෙට් කතා/සීන් දෙක,තුනක්,හතරක්  (ගොඩක්)  උනා.ඒවත් ඉතින් හැකි පමණ ලියන්න ඕන.එහෙනම් මේ බ්ලොග් එකට අරක් ගත්තු ප්‍රේතයෝ,භූතයෝ අහක් කරලා දාන්න අවසරයි.

ප.ලි - පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි.ඒ හැමෝටම පුළුවන් විදියට ප්‍රතිචාර දක්වන්නම්.

Sunday, October 16, 2011

හයිය බටර්

අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.

මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් පිංකමක් කරනවා කියන එකත් ඉතින් ලේසියෙන් කරන්න බැහැනේ.පිරිත් මණ්ඩපයක් ගහන්න ඕන , එන අයට සංග්‍රහ කරන්න ඕන වැඩ කෝටියයි නේ.ඉතින් මේ පිරිත සංවිධානය කරන අයගෙන් කොටසක් ගියා ගෙවල් ගාව තියෙන පන්සලට.ගීහිල්ලා නායක හාමුදුරුවොන්ට වැදලා අදාළ කාරණාව කිව්වා.මේ නායක හාමුදුරුවෝ ටිකක් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා එහෙමත් ටිකක් අඩුයි. දැන් අපේ අය අදාළ කළමනා ට්ක එහෙම අහන අතරේදී හාමුදුරුවන්ගේ ඇහුවා "....අවසරයි හාමුදුරුවනේ පිරිත් කියන අතරතුර සුළුවට වළදන්න මොනවද තියෙන්න ඕන ? ".

හාමුදුරුවොත් ටිකක් උගුර පාදලා එහෙම "..ඔය ගිලන්පස ටිකකට අමතරව හකුරු ,සුකිරි ,හයිය බටර් ටිකක් තිබ්බහම ඇති මහත්තයෝ.. "

ලිස්ට් එකේ තිබ්බ අනිත් දේවල් නම් එච්චර අවුලක් නැහැ ඒ උනාට අර " හයිය බටර් " කියන්නේ මොනාද ? විස්තර අහන්න ගිය අයට මේක සෑහෙන්න ප්‍රශ්නයක්.අහන්නේ නැතුවත් බැහැ.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා අඩු හින්දා ටිකක් හයියෙන් අහන්නත් ඕනේ.පස්සේ ඉතින් බැරිම තැන ගියපු කෙනෙක් "...තරහ අවසර හාමුදුරුවනේ ..මොනවාද මේ හයිය බටර් කියන්නේ ? ".

හාමුදුරුවො උත්තරේ විදියට "..ඇයි මහත්තයෝ අර පුංචි ත්‍රිකෝණ කෑලි ජාතියක් තියෙන්නේ , අර එළ හරකෙක්ගේ රූපයක් කාරිය එහෙම ඇදලා..රාත්‍රී ජාමේ පිරිත් කියන්න එන පුංචි නමවල් එහෙම ඔව්වාට ආසයි නොවෑ..ඒකයි මම හයිය බටර් කිව්වේ අනිත් ඒවාට අමතරව.. "

පස්සේ තමයි ඉතින් අපේ අයට හයිය බටර් මොනාද කියලා තේරුම් ගියේ.

[පින්තුරේ ගත්ත ගුගල් දෙයියගෙන් - http://www.tasty-life.com.cn/PIC/DIGI/201172053661909.jpg ]



Friday, October 7, 2011

ස්ටීව් ජොබ්ස් සහ අපි

ස්ටීව් ජොබ්ස් එහෙමත් නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෘ කාලයක් තිස්සේ තිබුන රෝගයක් නිසා පහුගිය 6 වෙනිදා අභාවප්‍රාප්ත උනා.ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන රැසක්ම ජොබ්ස් ගේ මනසේ ඇදුන දේවල්.iPhone,iPad වගේ දේවල් ඒ අතුරින් ප්‍රධානයි.තමන්ගේ ජීවිතය ගොඩක්ම පොඩියට පටන් අරගෙන ඊට පස්සේ ඇපල් වගේ ලෝකයේ වටිනාම සමාගමක් හදන්න තරම් හිතේ ධෛර්යමත් බවක් ජොබ්ස් ට තිබුනා.ස්ටීව් ජොබ්ස් සහ ඇපල් කියන්නේ එකිනෙක වෙන්කරන්න බැරි දේවල් දෙකක්.ඇපල් සමාගමෙන් ජොබ්ස් ඉවත් උන විටදී ඇපල් හි කොටස් මිළ පහල යාමෙන්ම ඒ බව පැහැදිලියි.

ස්ටිව් ජොබ්ස් කරන ලද දේශන , වර්තමාන ලෝකයේ පුද්ගලයෙක් විසින් කරන ලද සාර්ථකම දේශන කිහිපය අතරට අයත්.ඒ අතරින් 2005 දී තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ස්ටැෆඩ් විශ්ව විද්‍යාලයේදී කරන ලද දේශනය අනර්ගයි.


ලෝකය වෙනස් කරපු විශේෂ සිද්ධි 3කටම ඇපල් ගෙඩිය සම්බන්ධ වෙලා තියෙනවා.පළමුවැන්න තමයි ක්‍රිස්තු සාහිත්‍යය එන ආදම් -ඒවා සිද්ධියට සම්බන්ද ඇපල් ගෙඩිය, දෙවැන්න ගුරුත්වාකර්ෂන නියමය සෙවීමට මග පෙන්වූ අයිසෙක් නිව්ටන් ගේ හිස මත පතිත උන ඇපල් ගෙඩිය , තෙවැන්න ස්ටීව් ජොබ්ස් නිමවූ ලෝ-ප්‍රකට ඇපල් නිෂ්පාදන.

තවත් විශේෂ කරුණක් වෙන්නේ උපතින් අන්‍ය භක්තිකයෙක් උනත් ස්ටිව් ජොබ්ස් පස්සේ කාලයකදී බෞද්ධ දර්ශනය වටහා ගෙන බුදු දහමට එක් උන එක.ඒ නිසා බෞද්ධ අපි ලෝකයට වටිනා දේවල් දායාද කල ස්ටීව් ජොබ්ස් ට නිවන් සුව ලැබේවා ප්‍රර්ථනා කරමු.

ස්ටිව් ජොබ්ස් ගේ මරණය දැනගත්තු වෙලාවේ ඉදන් ලෝකයේ වගේම ලංකාවෙත් ෆේස්බුක් / ටීවිටර් ගිණුම වල ශෝක ප්‍රකාශ කරලා හැමෝම දුක් වෙලා තිබ්බා.ලංකාවේ අයත් ජොබ්ස් ගේ පින්තුරේ ප්‍රෝෆයිල් පික්චර් විදියට දාගෙන තිබ්බා.මීට දවස ගානකට කලින් ලංකාවේ හිටපු විශිෂ්ඨ නළුවෙක් උන ජෝ අබේවික්‍රම මියගිය වෙලාවේ අපේ අයට මෙහෙම දේවල් කරන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. අවුරුදු 30 ක ත්‍රස්‌තවාදය ඉවර කරපු මැයි 19 වෙනිදට සිංහ කොඩියක් ෆේස්බුක් ප්‍රෝෆයිල් පික්චර් එක කරන්න "අකමැති" අපේම ලංකාවේ ෆේස් බුක් පාවීචිචි කරන අය ස්ටීවී ජොබ්ස් ගේ පින්තුරේ දාලා දුක් වෙන්නේ සමහර විට ලංකාවට වඩා ඇපල් අයි-ෆෝන් එක වටිනා නිසා වෙන්න ඇති.