Sunday, November 25, 2012

අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි )

බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්‍රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 1

එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ගියේ චන්ද්‍රිකාව කෙරෙහිය.

ආ. දේශාපලකයා : කොහොමද මන්ත්‍රිතුමා අපේ වැඩ දැන් , සෙල්ලම් නැහැ නේ කෙලින්ම අහසට බඩු යවන්නේ
වි. දේශපාලකයා : අනේ නිකන් ඉන්නව අයිසේ..ඔය චීන කාරයෝ එක්ක එකතු වෙලා මොනවා කරන්න බැරිද
ආ. දේශාපලකයා : ආ එහෙම කියන්න එපා..ඉතින් ඔබතුමාලට එහෙමවත් එකක් කරන්න බැරි උනා නේ..
වි.දේශාපලකයා : අපිට ඉතින් ඔව්වා කරන්න හිතුනේ නැහැ.ඇරත් ඉතින් චීනකාරයෝ මොනවා උනත් දාහක් දෙදාහක් ගත්තොත් නම ගහල දෙනවනේ..දැන් බයිසිකල් උනත් දාහක් දෙදාහක් ගත්තොත් මගේ නම උනත් ගහගන්න පුළුවන්..ඒක හින්දා ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා ගහන එක නම් මහා දෙයක් නෙවෙයි..
ආ දැන් කෝ ඔහෙලගෙ ඔය මල ඉලව්ව
ආ. දේශාපලකයා : තව දවස පහ හයක් යයි
වි. දේශාපලකයා : (මහ හයියෙන් සිනහසෙමින්) ඉතින් හරි නේ ඕයි..චන්ද්‍රිකා උනත් වෙලාවට ආවේ නෑනේ..ඉතින් කොහෙද ඕයි ඕක වෙලාවට උඩ යන්නේ ?

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 2

දැන් දැන් දැනුම බෙදන - රට හදන රුපවාහිනී සංවාදවල මාතෘකාවද චන්ද්‍රිකාය.විද්වතුන් සෑමසියලු දෙනාම චන්ද්‍රිකාට පිස්සු වැටී ඇත.

දැන් බලන්න ....මහත්තයෝ , ඉස්සර අපේ පොඩ් එවුන්ගේ පොත්වල මොනාද තිබ්බේ, අර කොහෙවත් තියෙන ජපානේ පොඩ් කොලුගැටයෙක් නිදා ගෙන ඉන්න ගමන හොයා ගත්තු වල්ගා තරුවක් ගැන.දැන් මම අහන්නේ .....මහත්තයෝ ඕවා දැන ගත්ත කියලා අප ගිරුවාපත්තුවේ බණ්ඩාගේ පුතාට ඇති ප්‍රයෝජනේ මොකක්ද ? නැහැ නේ..ආන්න දැන් එකට දැන් අපේ පොඩ් එවුන්ට , නේද රෑට රෑට ආකාසේ දිහා බලාගෙන ඉන්න කොට හෙමිට එහාට යන තරුවක් දැක්කොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ රටෙන් යවපු චන්ද්‍රිකාවක යනවා කියලා..මේවා දකින්න , කියන්න අපේ ඇස් , කටවල් පින් කරලා තියෙන්න ඕන ........මහත්තයෝ..මටනම් සන් තෝසේ බෑ ..... මහත්තයෝ..

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 3

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ඉහළ පෙළ නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක්.

අමෙරිකානු නිලධාරියා : මොකක්ද මිනිහෝ ඔය කරලා තියෙන්නේ..කිව්වා නේද ඔය මල ඉලව්ව යවන්න එපා කියලා.. දැන් බලනවා වෙලා තියෙන දේ
ලංකාවේ නිලධාරියා : ඇයි ඇයි මොනවද වෙලා තියෙන්නේ
ඇමෙරිකානු නිලධාරියා : ඇයි තමයි..අර බලවා තමුසෙලා යවපු එක අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ඇමිණන්න ගිහින්..ඒකේ හිටපු එවුන් යන්තං ඒක එහාට කරගෙන බේරිලා තියෙන්නේ..අපි යවපු වෙන සැට් එහෙක ඔක වැදිලා අන්න ඒක කඩන්වැටිලා.. මොනාද ඕයි මේ කරන්නේ..චීනාගේ තියෙන්නේ හොර බඩු කියලා තමුසෙලා තාමත් දන්නේ නැද්ද..හෙට අනිද්දා ඔය කොහෙවත් තියෙන යු.එෆ්.ඕ එහෙකට තමුසෙලා යවපු එක පාට් එකක් දාල පුළුවන් නම මෙතන ලෝක යුද්ධෙකුත් සෙට් කරනවකෝ...තමුසෙලත් මොනවා නැතත් මහා ලොකුවට සින්දු හදලා තමයි වැඩ පටන් ගන්නේ..මොනවාද ඕයි හැම මල ඉලව්වටම සින්දුවක් හදනවා..හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?

Sunday, November 18, 2012

ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !

මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.

දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.

රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි මාසේ නේ , ඇයි තාම මේක ඉන්ෂුවරන්ස් එක අලුත් කරගෙන නැත්තේ
අයියා බුවා : ඔව් රාළහාමි ඉතින් දහ වෙනි මාසේ තමයි ඉවර වෙන්නේ
රාළහාමි : ඉතින් ඒක තමා මාත් කියන්නේ..ඇයි එහෙනම් ඉතින් මේක අලුත් කරන්නේ නැත්තේ
අයියා බුවා : ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් ඉවර උනාම නේ අලුත් කරන්නේ
රාළහාමි : ඉතින් මේක ඉවරයි නේ
අයියා බුවා : ඉතින් තාම දහවෙනි මාසේ නේ රාළහාමි
රාළහාමි : මේ දහවෙනි මාසේ වෙන්නේ කොහොමද..මේ එකලොස් වෙනි මාසේ..
අයියා බුවා : නෑ නෑ රාළහාමිට වැරදීලා..තාම දහවෙනි මාසේ

දැන් රාළහාමිත් ටිකක් අප්සෙට් වෙලා.අයියා බුවත් මෙච්චර ෂුවර් පිටම කියනවනම් මේ දහවෙනි මාසේ කියලා, ඇත්තටම මේක දහවෙනි මාසෙද කියල දැන් මිනිහට ෂුවරුත් නැහැ.දැන් මිනිහා ෂේප් එකේ ඇගිලි නව නව ගණන් කරලා බලනවා මේ යන්නේ කීවෙනි මාසේද කියලා. අයියගේ වෙලාවට ( නැත්තම් රාළහාමි ගණන් කිරීමේ හැකියාව හොද කමටද ) දන්නේ දෙයියනේ කියලා ඇගිලි නව නව ගණන් කරපු එකත් වැරදීලා. දැන් රාළහාමි තවත් අප්සෙට්.පස්සේ පාරේ හිටපු කෙනෙක් මාසේ අහලා හරි මාසේ හොයාගෙන.

දැන් ඉතින් අයියා බුවාට බේරෙන්න විදියක් නැහැ නේ.දැන් කතාව යන්නේ මෙහෙම.

රාලහාමි : ඒකනේ මම කිව්වේ මේක එකලොස්‌වෙනි මාසේ
අයියා බුවා : ( පොඩ්ඩක් ඔළුව එහෙම කහන ගමන් ) අනේ රාළහාමිට කියන්න මට ඕක අමතක උනා නේ..මම හිතාගෙන හිටියෙම තාම දහවෙනි මාසේ කියල නේ..
රාළහාමි : මහත්තයා දන්නවනේ ඉතින් ඔහොම අමතක උනාම දඩේ කියාද කියලා..

දැන් ඉතින් අයියා බුවාට ගොනා එන්නේ පොල් පැලෙයි , තැබිලි පැලෙයි දෙකම කාලා වතුරත් බීලා යන්න  කියලා තේරුනා.

අයියා බුවා : පිස්සුද රාළහාමි..මම ඇත්තටම ඕක දැනගෙන හිටියේ නැහැ නේ..නැත්තම් මම වාහනේ එලියට දාන්නේවත් නැහැ.අනික රාළහාමි ඕක ගෙවන්නේ නැතිව හිටියොත් කාටද පාඩුව තියෙන්නේ.රාළහාමිටද ? නැහැ නේ , මේ මට.. මටමනේ ඒකේ පාඩුව තියෙන්නේ. අනික මම කියන්නේ මෙහෙම ගිහින් කොහේ හරි ගිහින් ඇනගත්තා, කාටද පාඩුව , රාළහාමිටද නැහැ නේ..මට මේ මටම තමයි පාඩුව..මේ ලෝකේ කවුරුත් තමන්ටම කෙලවෙන වැඩකරගන්නවද නැහැ නේ..නැහැ..දැන් රාළහාමි උනත් . . . .

මාසේ පැටලිලා බාගෙට මෝල් වෙලා හිටපු රාළහාමිට එක හුස්මට ඔය ටික ඇහුනම තවත් අප්සට් වෙලා, එදා දවසෙම ඉන්ෂුවරන්ස් එක ගෙවන පොරොන්දුව පිට අයියා බුවාට යන්න කියලා.අපරාදේ කියන්න බෑ තාමත් පොර ඉන්ෂුවරන්ස් එක නම් ගෙවලා නෑ.

Sunday, November 11, 2012

කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?

කාරුණික දැනුම් දීමයි

අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්‍ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.

තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා විසින් ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරන ආකාරය ගුගල් සර්වර් හි සිට මම නිරීක්ෂණය කරමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි. දුන් පොරොන්දු ඉටු නොවුනහොත් සුදු පැහැති රේසින් වාහන එවීමට පසුබට නොවන බවද දැන්වීමට කැමත්තෙමි.

වැඩ බලන අමාත්‍ය (බ්ලොග් භාර දෙවියන් වෙනුවට)
- මිනිස්ට්‍රි ඔෆ් බ්ලොග් ඇන්ඩ් රිලේටඩ් අෆෙයාර්ස්
- ආශ්චර්යලන්ඩ්

ප.ලි : විවිධාකාරයේ වැඩ කටයුතු / බාල්දී / ජරමර සිදු වූ බැවින් පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට / කියවීමට නොහැකි වීම ගැන සමාව වනු මැනවි.

ඔබාමා අයියා දෙවැනි පාරට දිනපු එකේ , කලින් පාර ඔබාමා අයියා දිනපු එකට දාපු පොස්ට් එක මෙතන ක්ලික් කරලා බලන්න.