Showing posts with label අනං මනං. Show all posts
Showing posts with label අනං මනං. Show all posts

Saturday, June 8, 2013

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!

මා ජිවත්වන්නේ මාරම ආතල් රටකය. මේ රට කොයිතරම් ආතල් ද කිවහොත් වසරේ සෑම දිනකම වාගේ ආතල් දේවල් සිදුවේ. ඒ සිදුවන දේවල් මෙහි ජිවත් වන්නන්ගේ මතකයේ රැදෙන්නේද ඉතා සීමාසහිත කාලයකි, උපරිම වශයෙන් සති දෙකකි. ඊට පසුව, වෙනත් ආතල් දෙයක් සිදුවන බැවින් පෙර සිදු වූ සිද්ධිය මතකයෙන් මැකී යයි.

මෑතකදි රජය විසින් රටේ විදුලි බිල ඉහල දමන ලදී. එයට විරෝධය පලකරමින් විපක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එදිනම රජයට සහය පතා ( වෙනින් විදියකට කිව්වොතින් , විදුලි විල වැඩිකරාට කමක් නෑ කියා ) කට්ටියක් පාගමනක් ගියේය. අපගේ වාසනාවට මේ දෙගොල්ලෝ අතරමග හම්බුනේ නැත. එසේ වූවානම් තවත් සතියට ආතල්ය. 

අපේ රටේ වසරකට වරක්, සිරිතක් පරිදි පුද්ගලික බස් හිමියන් ස්ට්‍රයික් කරති. ඉස්සර නම් ස්ට්‍රයික් කරේ බස් ගාස්තු වැඩි කර ගන්න උනාට, දැන්නම් ස්ට්‍රයික් කරන්නේ යහපත් පුද්ගලික ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ උදාර චේතනාවෙන්ය. අනේ සාධු !! ඒ ඇරත් , දැන් ස්ට්‍රයික් කරන්නෙත් ඉස්සර එකට ස්ට්‍රයික් කල අය වෙන්වෙලාය. ගැමුණු මාමා ස්ට්‍රයික් කරනකොට අනෙත් කට්ටිය හ්ම්ම් සද්ද නැත. අනෙක් අය ස්ට්‍රයික් කරනකොට ගැමුණු මාමා සද්ද නැත. එය ද මාරම ආතල් එහෙකි.

මේ ළගදි සිදු වූ අනෙක් සිද්දිය වන්නේ සිරුරට ගිනි තබාගෙන හාමදුරුවෝ නමක් අපවත් වීමය. කල දේ හරි හෝ වැරදි හෝ වේවා, හාමුදුරුවන්වහන්සේ තුළ නම් අනිවාර්යෙන් උත්තරීතර චේතනාවක් තමන්වහන්සේ කරන්න යන දේ ගැන තිබෙන්නට ඇත. නමුත් දැන් සිදු වන්නේ, " අනේ ඉතින් අර හාමුදුරුවොත් තමන්ගේ දිවි පුජා කරේ හරකෙක්ට නේ" යැයි සමහරු පැවසීමය. සමහරු සිරිසඟබෝ රජු හිස දන් දීපු එක පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වති. අපේ අය මේ සිද්ධියත් ආතල් එහෙකට පෙරල ගත්තේ එසේය.

දැන් යලිත් ඇත්තේ ක්‍රිකට් වසන්තය යි., ඒ නිසා මේ (අ)මුතු රටේ ඉන්න අයට බස් ස්ට්‍රයික් එකවත්, විදුලි බිල වැඩි උන එකවත්, හාමුදුරුවෝ ගිනි තියාගත්ත එකවත් මතකයේ නැත. අපේ රටට හැම දෙයක්ම වගේ පැමිණියේ ළගම ඇති ඉන්දියාවෙන් ය. ඒ නිසාවෙන් ඉන්දියාව‍ අපේ ලොකු අයියා වී, අප චුටී නංගි වන්නේය. ශුරයන්ගේ කුසලාන ආරම්භයේදීත් මේ සම්බන්ධය අප මුළු ලොවටම නැවත කියා දෙන ලදී. අන් සෑම රටක්ම තම දේශිය සංගීත නාද රටා වාදනය වනවිට, අපේ ලංකාව හදුන්වා දුන්නේ හින්දි සින්දුවකට ය. මෙය වූ කලි කෙතරම් ආඩම්බරයක් ද ? ලයනල් රන්වල / රෝහණ බැද්දගේ නොඑසේනම්  භාතිය/සන්තුෂ් / ඉරාජ් ගේ සින්දුවක් වාදනය වුවා නම් මෙවන් දේශීය අභිමානයක් අප කෙසේ ලබාගන්නද ?

( අපේ කට්ටිය ගැන කියන්නේ 5.16 ඉදන් )



මෙතැකින් මේ රටේ සිදුවන ආතල් දේවල් නැතිවන්නේද නැත. මන්ද මේ රට ආතල් දෙන්නන්ගෙන්ද , ආතල් ලබාගන්නන්ගෙන්ද බහුල රටක වන නිසා ය. මෙවන් ආතල් රටක ජිවත් වීමද මාරම ආතල් එහෙකි. එම නිසා ලබන ආත්මයේදීත් මෙහිම ඉපිද ආතල් ලබාගැනීමට හැකි වේවා යැයි, ආතල් එකක් ගිය බැවින් මෙය ලියු මම ප්‍රාර්ථනා කරමි.

අදත් පිටපත නෑ එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ


Sunday, November 25, 2012

අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි )

බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්‍රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 1

එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ගියේ චන්ද්‍රිකාව කෙරෙහිය.

ආ. දේශාපලකයා : කොහොමද මන්ත්‍රිතුමා අපේ වැඩ දැන් , සෙල්ලම් නැහැ නේ කෙලින්ම අහසට බඩු යවන්නේ
වි. දේශපාලකයා : අනේ නිකන් ඉන්නව අයිසේ..ඔය චීන කාරයෝ එක්ක එකතු වෙලා මොනවා කරන්න බැරිද
ආ. දේශාපලකයා : ආ එහෙම කියන්න එපා..ඉතින් ඔබතුමාලට එහෙමවත් එකක් කරන්න බැරි උනා නේ..
වි.දේශාපලකයා : අපිට ඉතින් ඔව්වා කරන්න හිතුනේ නැහැ.ඇරත් ඉතින් චීනකාරයෝ මොනවා උනත් දාහක් දෙදාහක් ගත්තොත් නම ගහල දෙනවනේ..දැන් බයිසිකල් උනත් දාහක් දෙදාහක් ගත්තොත් මගේ නම උනත් ගහගන්න පුළුවන්..ඒක හින්දා ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා ගහන එක නම් මහා දෙයක් නෙවෙයි..
ආ දැන් කෝ ඔහෙලගෙ ඔය මල ඉලව්ව
ආ. දේශාපලකයා : තව දවස පහ හයක් යයි
වි. දේශාපලකයා : (මහ හයියෙන් සිනහසෙමින්) ඉතින් හරි නේ ඕයි..චන්ද්‍රිකා උනත් වෙලාවට ආවේ නෑනේ..ඉතින් කොහෙද ඕයි ඕක වෙලාවට උඩ යන්නේ ?

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 2

දැන් දැන් දැනුම බෙදන - රට හදන රුපවාහිනී සංවාදවල මාතෘකාවද චන්ද්‍රිකාය.විද්වතුන් සෑමසියලු දෙනාම චන්ද්‍රිකාට පිස්සු වැටී ඇත.

දැන් බලන්න ....මහත්තයෝ , ඉස්සර අපේ පොඩ් එවුන්ගේ පොත්වල මොනාද තිබ්බේ, අර කොහෙවත් තියෙන ජපානේ පොඩ් කොලුගැටයෙක් නිදා ගෙන ඉන්න ගමන හොයා ගත්තු වල්ගා තරුවක් ගැන.දැන් මම අහන්නේ .....මහත්තයෝ ඕවා දැන ගත්ත කියලා අප ගිරුවාපත්තුවේ බණ්ඩාගේ පුතාට ඇති ප්‍රයෝජනේ මොකක්ද ? නැහැ නේ..ආන්න දැන් එකට දැන් අපේ පොඩ් එවුන්ට , නේද රෑට රෑට ආකාසේ දිහා බලාගෙන ඉන්න කොට හෙමිට එහාට යන තරුවක් දැක්කොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ රටෙන් යවපු චන්ද්‍රිකාවක යනවා කියලා..මේවා දකින්න , කියන්න අපේ ඇස් , කටවල් පින් කරලා තියෙන්න ඕන ........මහත්තයෝ..මටනම් සන් තෝසේ බෑ ..... මහත්තයෝ..

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 3

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ඉහළ පෙළ නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක්.

අමෙරිකානු නිලධාරියා : මොකක්ද මිනිහෝ ඔය කරලා තියෙන්නේ..කිව්වා නේද ඔය මල ඉලව්ව යවන්න එපා කියලා.. දැන් බලනවා වෙලා තියෙන දේ
ලංකාවේ නිලධාරියා : ඇයි ඇයි මොනවද වෙලා තියෙන්නේ
ඇමෙරිකානු නිලධාරියා : ඇයි තමයි..අර බලවා තමුසෙලා යවපු එක අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ඇමිණන්න ගිහින්..ඒකේ හිටපු එවුන් යන්තං ඒක එහාට කරගෙන බේරිලා තියෙන්නේ..අපි යවපු වෙන සැට් එහෙක ඔක වැදිලා අන්න ඒක කඩන්වැටිලා.. මොනාද ඕයි මේ කරන්නේ..චීනාගේ තියෙන්නේ හොර බඩු කියලා තමුසෙලා තාමත් දන්නේ නැද්ද..හෙට අනිද්දා ඔය කොහෙවත් තියෙන යු.එෆ්.ඕ එහෙකට තමුසෙලා යවපු එක පාට් එකක් දාල පුළුවන් නම මෙතන ලෝක යුද්ධෙකුත් සෙට් කරනවකෝ...තමුසෙලත් මොනවා නැතත් මහා ලොකුවට සින්දු හදලා තමයි වැඩ පටන් ගන්නේ..මොනවාද ඕයි හැම මල ඉලව්වටම සින්දුවක් හදනවා..හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?

Tuesday, April 3, 2012

වාසගමේ ප්‍රයෝජනේ

මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්‍න‍ දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "

Wednesday, January 11, 2012

මම නම් ඔයාට කියයි

දැනට අවුරුදු 7 කට කලින් දැක්කට පස්සේ අද තමයි මම ඔයාව දැක්කේ.ඔයා වෙනස් වෙලා තියෙන තරම්.එදා අන්තිමට මම ඔයාව දැක්කේ මම ඒ/ලෙවල් ක්ලාස් යනකොට.ඒ කාලේ අපේ හිටපු හැම කොල්ලම ඔයාට තමයි ට්‍රයි කලේ.එහෙම නොවුනනම් තමයි නේ පුදුමේ.ඔයා ඒ හැමෝවම ගානකටවත් ගන්නේ නැතිව ඉන්න එක දැක දැක මම තනියම හිනාවේවි හිටියා.හැබැයි මගේ හිතේ ඔයාට කැමැත්තක් තිබ්බේ නැත්තෙමත් නැහැ.අනිත් අය වගේ ඔයාගෙන කැමැත්ත අහන්න මට හිතුන්නැත්තෙමත් නැහැ.

ඒත් අහම්බෙන් වගේ අද ඔයාව දැක්කම මාව මිට අවුරුදු ගානක් ඉස්සරහට ගෙනිච්චා වගේ කියලා තමයි හිතුනේ. වෙනදා වගේම ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා උනා.අන්තිමට දැක්ක දවසට වඩා ඔය ගොඩක් ලස්සන වෙලා.ළගට ගිහින් කතා කරන්න කොච්චර දේවල් තිබ්බත් ඒ ඔක්කොම මම මගේ හිතේ හිර කරගෙන හිටියා.මම ඔයාට කොච්චරක් කැමැත්තෙන් හිටියද කියලා ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ.ඒක හැමදාම මගේ හිතේ තියෙයි.මම නම් කියයි ඔයාට ;)

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද
අප තනිවෙන්නේ
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ..... කිමද මා ගැන නොසිතන්නේ

Saturday, July 30, 2011

රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows

" අපගේ මිළග සුපිරි තරුව වන්නේ . . . .  "

මේ ටිකේම අහන්න දකින්න පුළුවන් සුපුරුදු වදනක් තමයි ඉතින් ඕක.ලංකාවෙත් ඉතින් පුදුම රියලටි ෂෝ තොගයක් නේ තියෙන්නේ.මොන නාලිකාව බැලුවත් අපරාදේ කියන්න බැහැ සති අන්තයට නම් රියලටි ෂෝ වරදින්නේ නැහැ.මගේ මතකයට අනුව නම් ලංකාවේ පටන් ගත්තු පලවෙනි රියලටි එක තමයි "සුපර් ස්ටාර්".ඒකාලේදී හිතාගන්න බැරි තරමටම ජනප්‍රියත්වයක් ඒ වැඩසටහන ලබා ගත්තා.රේටින්ග්ස් වලින් ගත්තත් ,වෙළද දැන්වීම් පැත්තෙන් ගත්තත් ලබා ගන්න පුළුවන් උපරිම ජනප්‍රියත්වය ඒ වැඩසටහන ලබා ගත්තා. තාමත් මතකයි ඒ තරගය යන කාලයේ ජන(අ)ප්‍රිය ගායකයෙක් ඉවත් උනා කියලා ගෑනු ළමයි එහෙම අඩපු හැටි. හිකිස්‌ . . ඔහොම පොඩියට පටන් ගනිපු රියලටි උන්මාදය අනිත් නාලිකාවලටත් බෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ ගොඩක් නාලිකා රියලටි කරන්න ගිහින් වැඩේ අනාගත්තා.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටවල දී වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.කොහොම උනත් ඔතනදි මම කියපු "අභාෂය" කියන දේත් පොඩ්ඩක් විතර කොන්දේසි වලට යටත් වෙනවා.මොකද කියනවනම් ඇමෙරිකාවේ පවත්වපු තරග වලදී භාවිතා කරපු දැවැන්ත වේදිකා , උසස් තාක්ෂණය, වෙනස් වෙනස් කැමරා කෝණ වගේ දේවල් මුල් කාලයේ තිබ්බ රියලටි ෂෝ වල තිබ්බේ නැහැ.මගේ අදහස තාමත් තාක්‍ෂණය සහ වේදිකාවන් කියන කාරණා ගත්තොත් දෙරණෙන් කරන රියලටි ෂෝ එක ඉදිරියෙන් ඉන්නවා.

කොහොමහරි ඔය තරගවල තියෙන පොදු ලකෂනයක්ද මන්දා ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

දැන් කට්ටිය බලනවා ඇති මම උදාහරණ ගන්නකොට ඇයි සිරස සහ දෙරණ විතරක්ම ගන්නේ කියලා.ඒකටත් හේතු තියෙනවා. මගේ පුද්ගලික අදහසක් තමයි ලංකාව වගේ රටක කරන රියලටි ෂෝ වල ගුණාත්මක බව ( සහ ජනප්‍රියත්වය ) මනින්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ අදාළ වැඩසටහන පවත්වන වාර ගනන නැත්නම් සීසන් ප්‍රමාණය.මොකද ඕනෑම නාලිකාවක් කැමති වෙන්නේ නැහැ අනුග්‍රාහකයන් නැතිව නිකන් බොරුවට වැඩසටහන් කරන්න.කප්පරක් රියලටි ලංකාවේ තිබ්බට යම්තම් සීසන් දෙකක් හරි ඊට වඩා පවත්වාගෙන යන්න පුළුවන් රියලටි කරමින් ඉන්නේ මම ඉස්සර කියපු නාලිකා දෙක විතරයි.අනිත් නාලිකාවලින් දක්ෂයන් බිහිනොවුනා නෙවෙයි, නමුත් යම් යම් හේතු මත ඔවුන්ගේ වැඩසටහන් අසාර්ථකයි.

තව හේතුවක් තමයි ඔය නාලිකා දෙකෙන්ම තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" දාන්නේ නැහැ.උදාහරණ ඉතින් කියන්න ඕනෑ නැහැනේ.

තවත් එකක් තියෙනවා , මේක නම් මගේ යාලුවෙක් ගේ අදහසක්.මම 100 % එකග නැහැ.හැබැයි වැරැද්දක් කියන්නත් බැහැ. එයා කියෙන්නේ තමන්ගේ වැඩසටහන ජනප්‍රියනම් බය නැතිව අවසාන මහා තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ තියන්න පුළුවන්කම තියෙන්න ඕනලු.ගොඩක් සෙනගක් දාන්න පුළුවන් දැනට තියෙන එකම තැන එහේ විතරනේ.ඒ තර්කෙට අනුව බැලුවත් සුගතදාස ක්‍රීඩාංගනය පිරෙන්න සෙනග ගෙනල්ලා රියලටි ෂෝ කරලා තියෙන්නෙත් මම කලින් කියපු නාලිකා දෙක විතරයි.

ඔය මොන නාලිකාවලින් හරි එක එක විදියට තරු හැදුවත් ඔය බබලන තරුවලින් ගොඩක් කට්ටිය උල්කාපාත වගේ බිමට කඩන් පාත් වෙනවා.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

ප.ලි -ටෙම්ප්ලේට් එක ටිකක් වෙනස් කරා ඒක අවුලක් නැහැ කියලා හිතනවා.

Saturday, July 23, 2011

මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ

ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර  ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.

කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් එකතු වෙලා හිටියා. මේ පන්තිය ප්‍රසිද්ධ රසායන විද්‍යා පන්තියක්. හැමදාම පන්තිය ඉවර වෙනකොට හවස දෙක තුන වෙනවා , පංති ඉවර වෙලා යන්නත් ඕන අර ගාට ගාට යන 183 බස් එකේ. ඉතින් මේ යාලුවෝ සෙට් එක කරන්නේ හැමදා පන්ති ඉවර වෙලත් තව පැය භාගයක් විතර බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. ඔය ඉන්න කොට ඉතින් අහල පහල ඉන්න ගෑනු ළමයි , පාසල් ඇරිලා යන ළමයින්ව එහෙම ලාවට වගේ බයිට් එකටත් ගන්නවා. ඔහොම ඉදලා 3 ට විතර එන හිස් 183 බස් එකක කට්ටියම නගිනවා.

ඔය වැඩේ ටික කාලයක් කරගෙන යනකොට දැන් මේ යාලුවෝ කට්ටියට තේරෙනවා තමන්ගේ සෙට් එක විතරක් නෙවේ මෙහෙම 3 විතර වෙනකන් ඉන්නේ වෙන සෙට් එකකුත් ඉන්නවා කියලා.බැලින්නම් ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්.සෙට් එකක් කිව්වට ඉන්නේ  කෙල්ලෝ දෙන්නෙක්. තව කාලයක් මේ වෙන වැඩේ ෆලෝ කරගෙන ඉන්නකොට කට්ටියට ක්ලික් වෙනවා මේ කෙල්ලෝ දෙන්නත් ඉන්නේ ගෙවල් ළග පාතමයි කියලා.

දැන් ඉතින් යාලුවෝ ටිකටත් නිකන් මැජික් වගේ නේ මේ වෙන වැඩේ. පස්සේ ඉතින් කට්ටිය කරේ වෙනදා 3 වෙනකන් ඉදලා හිස් බස් එකක යන එක වෙනුවට අර කෙල්ලෝ සෙට් එක එනකම් ඉදලා එයාලා එක්කම යන්න හිටපු එක.මේ වෙනකොට කෙල්ලෝ සෙට් එක නම් කොල්ලෝ සෙට් එක ගණන් ගත්තේ නැහැ ,කොල්ලෝ ගණන් ගත්තට :D .  දැන් ඉතින් පන්ති ඉවරවෙලා හැමදාම අර කෙල්ලෝ සෙට් එකත් එක්කම එකම බස් එකේ එයාලව බයිට් කර කර අපේ කට්ටිය යනවා.

ආ මට කියන්න අමතක උනා , අර කලින් කිව්ව හොද ෆිට් යාලුවෝ දෙන්නගෙන් එක්කෙනක් මේ කාලය වෙනකොට ප්‍රේම සම්බන්ධයක් තියා කෙල්ලෙක් එක්ක මුණට මුණ බලාගෙන කතා කරලවත් නැහැ.විශ්වාස කරන්න බැරි උනාට ඒක එහෙම තමා. අපේ කතාවේ ප්‍රධාන චරිතය නැත්නම් කතා නායකයත් එයාම තමයි.මිනිහාගේ හිතේ තිබ්බේ උසස් පෙළ කරලා කැම්පස් එකකට පනින එක. අනිත් යාලුවා නම් එහෙම නැහැ.මිනිහා සමජශීලීයි.ඔය එව්වා මෙව්වා දෙක තුනක් එහෙමත් තිබ්බා. කැම්පස් පනින හීනයට වඩා  මිනිහට තිබ්බේ කවදා හරි රට යන්න ඕන කියන හීනය.

අපේ කතා නායක යාලුවට බස් එකේ යන කෙල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක්ව සෙට් කරන්න අර අනිත් යාලුවට පොඩ් අයිඩියා එකකුත් එන්නේ මෙන්න මේ කාලෙදිම තමයි. ඔහොම අයිඩියා එකක් ආවම ඉතින් අනිත් අය බැහැලම සහයෝගය දෙනවනේ. අනිත් අයත් දැන් වැඩේට ෆුල් කැමතියි.දවසක්  අයිඩියා එක ආපු යාලුවා මෙහෙම අහනවා අපේ කතා නායකයාගෙන්...

 " මේ උබ අරකිට කැමතියි නේද "
 " කාටද බන් ? "
 " කාටද කියෙන්නේ බන් අර අපිත් එක්ක  බස් එකේ එකට යන්නේ බන්...අන්න ඒකිට.."
" මේ උබට පිස්සුද බන්..තව එක්සැම් එකට කොච්චර ටික කාලේද තියෙන්නේ..ඕව කර කර හිටියොත් එක්සැම් හබක් වෙනවා බන් "
" හරි හරි බන් උබ කැමතිද නැද්ද කියහන්කෝ..ඉතුරු ටික මම කරන්නම් ... "
" බෑ බෑ මට එපා බන්...උබ දන්නවනේ මම ඕවට නැහැ කියලා දැන්ම"
" උබ ඕන එකක් කරපන් මම එකිට කියනවා උබ කැමතියි කියල...... "

දැන් අර කතා නායක යාලුවා බලනවා මේ මොන දේවාලයක්ද මගේ ඔළුවට කඩන් වැටුනේ කියලා.කොහෙද ඉතින් යාලුවා උනත් මු කියන එක අහන එකක්ද. #$%(#@

දැන් ඔතන් පටන් බස් එකේ යනකොට බයිට් කරන එව්වා එහෙම කැරකෙන්නේ වෙන වෙන විදියට.වැඩේ මුලිකත්වය ගන්නේ කෙල්ල සෙට් කිරීමේ අයිඩියා එක ආපු යාලුවා. අනේ අසරණ යාලුවා ඉතින් හිනා වෙවී ඉන්නවා.වෙන මොනව කරන්නද ඉතින්.

කාලය ගෙවිලා ගෙවිලා පන්තියට එන අන්තිම දවසත් ආවා.දැන් අර කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ටිකක් විතර යාලුයි.දෙගොල්ලෝ කතා කරනවා ඒත් ඉතින් අපේ කතා නායක යාලුවා නම් තාමත් එක කෙල්ලෙක් එක්කවත් කතා කරලා නැහැ. පන්තිය අන්තිම වෙන දවසේ අර ෆිට් යාලුවෝ දෙන්නා අතරේ මෙන්න මේ වගේ කතාවක් යනවා

" මේ බන් අද දැන් ක්ලාස් ඉවරනේ...අද තමයි අන්තිම දවස..ඔන්න උබ ගිහින් අද අරකිගෙන් කෙලින්ම අහපන් කැමැතිද නැද්ද කියලා "
" උබට මෝල් ද  ? "
" මට මෝල් නැහැ බන්..එක්කෝ ඔව් නැත්නම් නැහැ..දෙකින් එකයි නේ."
" අනේ මට බැහැ බන්..අනික මට එහෙම එකී ගැන හිතිලා නැහැ..මම උබට කියලා තියෙනවනේ ඒක "
" මේ උබ ඕන එකක් කරගනින් මම අද උබේ මොබයිල් නම්බර් එක ඒකිට දෙනවා "
" මේ උබේ මොලේ නරක් වේගෙන එනවද..මගේ එක දෙන්නේ උබේ නම්බර් එක දීපං කෝ #^#$%@ "

කිව්වත් වගේ මේ යෝදයා නම්බර් එක කෙල්ලට දුන්නා.කෙල්ලත් ඉතින් මුකුත් නොකියා හිනා වෙවී නම්බර් එක ගත්තා. කට්ටිය හැමෝටම සතුටුයි...නම්බර් එක අයිති යාලුවට හැර.මිනිහා හිත හිත ඉන්නේ මොන මගුලක්ද මේ උනේ කියලා.

කොහොමින් හරි උසස් පෙළ විභාගෙට කලින් දවසේ අපේ කතා නායකයට කෙටි පණිවිඩයක් එනවා දන්නේ නැති නම්බර් එකකින්, විභාගෙට සුභ පතලා.කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් විපරම් කරනකොට දැනගන්න ලැබෙනවා අර නම්බර් එක ගත්තු ගැණු ළමයා තමයි මේ මැසේජ් එවන්නේ කියලා.මෙයත් ඉතින් මෙයාගේ හොදම යාලුවට මේ වැඩේ කිව්වා...

" ඒ මචං මේ අන්න අරකි මැසේජ් එකක් දාල තියෙනවා "
" කවුද බන් අරකි ??"
" අර ක්ලාස් ආවේ බන්..අර උබ හරකා වගේ නම්බර් එක දුන්නේ "
" නෑ...........පිස්සු හැදෙනවා.... ඉතින් උබ ඇහුවද කැමතිද කියලා "
" උබට පිස්සුද බන්.. #&%@#!^$@!  ...විභාගෙට විශ් කරලා තියෙන්නේ "
" අඩේ මරු මරු...ඒ කියෙන්නේ ඒකී උබට කැමතියි..හරි ගියාම අපිටත් කියපන් හරිද "
" මගුලක් කතා කරනවා "

උසස් පෙළත් ඉවර උනා කියමුකෝ.අපේ කතා නායකයයි අර කෙල්ලයි මේ කාලේ වෙනකොට කෙටි පණිවිඩ නිතරම හුවමාරු කර ගන්නව.කතා නායක යාළුවගේ හොදම යාලුවත් මේ අස්සේ නිතර නිතරම අහනව තාම කෙල්ලගෙන් කැමතිද කියලා ඇහුවේ නැද්ද කියලත්. ඔන්න ඔහොම කාලය කෙමෙන් කෙමෙන් ගලාගෙන යනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ අර හොදම යාලුවාගේ බලාපොරොත්තුවක් තිබ්බ කියලා රට යන්න. ඉතින් ඒ නිසා එයා ඒ අරමුණ ඉටු කරගන්න කොලඹ තිබ්බ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවා. ලංකාවේ ටික කාලයක් ඉගෙන ගෙන ඉතුරු ටික පිටරට ගිහින් කරන්න පුලුවන් පාඨමාලාවක් එයා පටන් ගන්නවා. අර කෙල්ලත් ඒ ආයතනයනට යන්න තීරණය කරනව ඔන්‍න‍ ඔය කාලෙදිම.

තව ටික කාලෙකට පස්සේ අපේ කතා නායක මිත්‍රයට ආරංචි වෙනවා එයාගේ හොදම යාලුවා අර කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා. හොදම යාලුවා නම් ඒ බවක් කියලා නැහැ , වෙන යාලුවෙක් තමයි කියලා තියෙන්නේ , තාමත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කරේ කියලා. කොහොමින් හරි ඔය දේවල් වලින් පස්සේ මේ හොදම යාලුවෝ දෙන්නා අතරේ තිබ්බ හොද ෆිට් එක නම් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගිහින්.හැබැයි ඉතින් කතා නායකයා නම් එයාගේ හොදම යාලුවත් එක්ක කිසිම තරහක් තියා ගත්තේ නැහැ.එයාට හදවතින්ම සුභ පැතුවා.

ප.ලි - මේක සිරාවටම වෙච්ච කතාවක්. කතා නායකයාට නම් රටේ (අ)වාසනාවට මන්ද කැම්පස් යන්න ලැබුනේ නැහැ.මිනිහා නම් තාම ලංකවේ ඉන්නවා.හොදම යාළුවයි අර කෙල්ලයි දෙන්නා ලංකාවෙන් ඈත දුරු රටක තම තමන්ගේ ඉතුරු අධ්‍යාපනය කටුයුතු කරගෙන ඉන්නවා.

ප.ප.ලි - මේ පොස්ට් එක ටිකක් දිග වැඩි උනා.ලියපු දිගම පොස්ට් එකද මන්දා. . .

Sunday, July 3, 2011

මදුරුවෙක් කතාකරයි



මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.

සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න හිටින්න නිවාස ඇතිකිරීමට මාසික ක්‍රමයට කොන්ත්‍රාත් ගෙන ඇති නිසාය.ඔවුන් තරගයට මෙන් මට නිවස තනා දෙන අතර ඒවා කඩා දමන්නට හදන්නේ දඩ කොලයක් ලැබුනොත් පමණි.එම නිසා මා බැලීමට මුදල් ගෙවා සත්තු වත්තට නොයා යුතු අතර මා ඔබ සියළු දෙනා බැලීමට පුද්ගලිකවම පැමිණේ.මුදල් නොගෙවා බැලිය හැකි එකම සතාද මා විය හැක.

මගේ ප්‍රියතම කෑම සහ බීම ලේ ය.මම ලේ බීමට රුසියෙකි වෙමි.නමුත් මම ඩ්රැකුයාලට නෑ හිමිකමක් නොදක්වන අතරම  අර වැම්පයර්ද මොක්කුන්ටද කිසිදු සම්බන්දයක් නොදක්වමි.දැන් දැන් මට හිතිලා තියෙන දේවල හැටියට "ඩෙංගුලයිට්" කියා ෆිල්ම් කටුවක් ගහන්නටද හිතේ.එවිට ඔය ඇති පදමට වැම්පයර්ලට ආලේ කොරන අයට ඉකි ගසමින් එය නරඹන්නට හැක.මෙහෙම හිටියට අපිත් හොද ඇග පත තියෙන කොලු මදුරුවෝය.

තවද මෙම රටේ සින්දු කියන එක්කෙනකු අපේ වරිගෙ එවුන්ට මල් පැණි බොන්නට ඉගැන්වීමට වරෙක උත්සාහ කළේය.එව්වා කොහෙද අපේ එවුන් එක්ක.අපිට මල් පැණි බීම ඉගැන්වීම කෙසේ වෙතත් අදාළ අය වෙන වෙන පැණි වර්ග නම් බොන්නට ඇති බව අපගේ අදහසයි. අපේ වරිගෙ විනාශ කරන්න එන අයට අපි දැඩි ප්‍රහාර එල්ල නොකර මිස පසු නොබසියි.එය අපගේ මදුරු ශක්තියයි.

මේ ලගදි දවසක අපිට ඩ්.ඩ්.ට් ද මොනවාද ගහන්නට කට්ටියක් උත්සාහ කළේය.නමුත් ඉතින් මේ රටේ දී සාමාන්‍යයෙන් වැඩක් ලේසියෙන් කොරන්නට බැරිය.මැටි-ඇමැටිලගේ කඹ ඇදීමට පින් සිදු වන්නට ඒ කරදරෙන්ද අපි බේරුනි.අපිත් මැටි-ඇමැටිවරුත් දෙගොල්ලන්ම ගොඩ ගියහ.

අපගේ මදුරු මිතුරෝ විවධ ක්‍රීඩා කරන අතර ක්‍රිකට් ඉන් විශේෂයි.පන්දු යැවීමට උපන් හපන් කමක් දක්වන අපේ අය යවන දහර පන්දු වලට කියන්නේ "මදුරු දගර" කියාය.

මේ රටේ අපේ නමෙන් අලුත් වාහනයක්ද ඇත.ටිකක් විපරම් කොට බැලු විට එය බයිසිකලයකි.මොන අටමගුලකට එයට මදුරුවා කියනවාදැයි මම නොදනිමි.පළමු කොට එයට පියාපත් වැනි දෑ ඇතැයි මා සිතුවත් එයට ඇති පියාපතක් නැත.කෙසේ වුවත් එහි යන්නවුන් නම් උන්ට පියාපත් ඇතැයි සිතා එහි යන බව නම් මට හැගේ.

මම සාමාන්‍යයෙන් ශබ්ද වලට බිය ඇත්තෙක් වෙමි.විශේෂයෙන්ම චටස් යන ශබ්දය සමග එන පහරට මම බිය වෙමි.මන්ද ඒ පහර බොහෝවිට භයානක නිසාය.තව කිමට ඇති මදුරු කතා බොහෝය, නමුත් වෙලාව හරස් වී ඇත. එම නිසා අදට මදුරු කතා එපමණය.වැඩි වෙලාවක් සිටියොත් මේ කොටන යතුරු පුවරුව අයිති බුවාගේ පහරකට මා ගොදුරු විය හැක.

සැ.යු - මෙහි සදහන් සියළු කරුණු මගේ මදුරු සිතේ ඇතිවු මදුරු අදහස් පමණක්ම බව සලකන්න.