Saturday, December 22, 2012

භාතිය සහ සන්තුෂ්ට පසු | Concept of 'Brand ambassadors' & BnS

අපි කවුරුත් හොදට දන්නා භාතිය සහ සන්තුෂ් මුලින්ම ලංකාවේ සංගීත කේෂ්ත්‍රයටආවේ 1998 අවුරුද්දී 'වසන්තයේ' ගීත ඇල්බමයත් එක්ක.පළමු ගීත ඇල්බමය එළිදක්වලා දැනට අවුරුදු 15 ක් ගත වුනත් අදටත් ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩුවීමක් නැහැ.වසන්තයේ සංගීත ඇල්බමයට පස්සේ 'ලයිෆ්', 'තාරුණ්‍යයේ', ' නේත්තරා' සහ 'සරා සිහින' යන ප්‍රධාන ගීත ඇල්බම් 5ක් සහ තවත් තනි ගීත රැසක් මේ දෙන්නා විසින් නිර්මාණය කරලා තියෙනවා.

සන්නාම තානාපතිධුරයන් නොඑසේනම් Brand ambassador සදහා ලෝකයේ ඕනෑම රටක සුදුසු වන්නේ ( සහ තෝරාගන්නේ ) ඒ ඒ ක්ෂේත්‍රයක නියමුවන්. NIKEවෙළද දැන්වීම් සහදා බෙකම්, ඉන්දියාවේ ක්‍රිකට් දැන්වීම් සදහා ජනප්‍රිය ක්‍රිකට් තරු යොදාගැනීම මේ සදහා උදාහරණ විදියට දක්වන්නට පුළුවන්. අපේ රටේත් මෙකී සන්නාම තනාපතිධුරයන් සදහා ( කුමාර් සංගක්කාර ඇරෙන්නට) වැඩි වශයෙන්ම තෝරා ගනු ලැබුණු දෙදෙනා වුයේ භාතිය සහ සංතුෂ්ය.

දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙල , IIFA උළෙල  , ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් , ලෝක කුසලානය  ඇතුළු ජාත්‍යන්තර උළෙලවල්ට අමතරව දේශීය සහ විදේශීය භාණ්ඩ සහ සේවා රැසකටම මොවුන් තම නිර්මාණ දායකත්වය ලබා දී තිබෙනවා.

භාතිය/සංතුෂ් ගෙන් පසු....

අපේ රට තුළ ක්‍රිකට් තරුවලට අමතරව ජනප්‍රියම ගොන්නට එකතුවන්නේ ගායන තරුය. එම නිසා , සංගා හෝ ඊටත් වඩා මාකට් කලහැකි චරිතයක් ලැබෙන තුරු රට නියෝජනය කරන්නට සහ රට වෙනුවෙන් නිර්මාණය දායකත්වය සැපයිය හැකියයි අනුමාන කළහැකි දැනට සිටින තරු වන්නේ.

කසුන් කල්හාර
සංගීත දැනුම සහ නිර්මාණශීලීත්වය අතින් බැලුවොත් දැනට ලංකාවේ ඉන්න හොදම තරුණ සංගීත ශිල්පියා කියලා කියන්න පුළුවන්. මේ වනතුරුත් කසුන් කල්හාර සිටින එකදු වෙළද දැන්වීමක් හෝ ශ්‍රී ලංකා නියෝජනයක් දැකලා නැති නිසා ඉදිරියේත් Brand ambassador කමකට යොමු වෙයි කියලා හිතන්න බැහැ.

ඉරාජ්
ගායන හැකියාව කෙසේ වෙතත් නිර්මාණශීලි ගීත නිර්මාණය කරන(කරපු) කෙනක්. BnS සමහ 2011 World Cup එක ලංකාව නියෝජනය කරන්න අවස්තාව ලැබුනෙත් ඉරාජ්ට. BnS පස්සේ Brand ambassador කමට වැඩි අවස්ථාවක් තියෙන්න කෙනෙක්.

ජය ග්‍රී
ඔස්ට්‍රියාව පාදකකරගෙන ඉන්න ලංකාවේ බෑන්ඩ් එකක් විදියට අනිත් අයට වඩා ජාත්‍යන්තර අත්දැකීම මෙයාලට නම් තියෙන්න ඕනෑ.ඒත් ලංකාවේ වැඩිකාලයක් ඉන්නේ නැති හින්දද මන්දා , ලංකාව තුල ලොකු මාකට් එකක් මෙයාලට නැහැ.

සෙන්ටිග්‍රේඩ්ස් , චිලි , දුෂ්යන්ත් , වොයිස් ප්‍රින්ට් ,Daddy, ශිහාන් ( ඇතුළු තරු වැඩසටහන්වලින් ආපු ඔක්කොම තරු) කළින් සදහන් කරපු අයගේ ගොන්නට ඇතුලත් නොකරන්නට හේතු කිහිපියක් තියෙනවා.

1. ජාත්‍යන්තර අත්දැකීම මදිකම
2. ජනප්‍රියතාවය ලංකාවට පමණක් සිමාවීම
3. මාකට් කරන්න පුළුවන් ගුණයේ මදිකම

අවසාන නිගමනය වශයෙන් කියන්න තියෙන්නේ , නර්තන අංශයෙන් පණිභාරත , චන්න-උපුලි වගේ අයගෙන් පස්සේ ලංකාව නියෝජනය කරන්න චන්දන වික්‍රමසිංහ වගේ අය හිටියත් භාතිය සහ සංතුෂ් ගෙන් පසුව ඒ හිස්තැනට කෙනෙක් නම් පෙනෙන මානයක නොමැතිබවයි. එම නිසා දැන්ම සිට සියළු මාකටින් ආයතන සහ Event plannersලා දිනේෂ් චන්දීමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් වෙන්කරවා තබා ගැනීම ඇගට ගුණය.

Saturday, December 8, 2012

2012 - ලංකාවේ සින්දු | Songs in 2012

අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ.

1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාල
දැන් නම් සින්දුවේ ජනප්‍රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් විඩියෝ උළෙල ජනප්‍රියම සින්දුව උනෙත් මේ සින්දුව. අමා නංගි දම්සාරි වෙලා පුළුවන් තරමක් කථා හදාගෙන , MEME වලට මාතෘකාවක් උනෙත් මේ සින්දුව නිසාම තමා. සින්දුවේ හිට් වෙන්න වීඩියෝ එකත් උපරිමෙටම උදව් උනා කියල කියන්න පුළුවන්.



2. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ආත්මා ලියනගේ
ආත්මා ලියනගේ ගායනා කරන මේ සින්දුව මම අහන්න ගත්තේ නම් ළගදී. ඇත්ත කථාවක් පාදක කරගෙන ලියපු සින්දුවක් කියල තමයි කියන්නේ නම්. මට අනුවනම් ආත්මා ලියනගේ ගයපු 'ලියතඹරා මුදු කුසුමකි' කියන සින්දුවට පස්සේ කියපු හොදම සින්දුව තමයි මේක.

3. විස්සයි - විස්සේ - BnS
දැන් අහන්න එපා මේක මොන එහෙකටද මෙතනට ආවේ කියලා. 20-20 ලෝක කුසලානයේ Official Event Song විදියට භාතිය-සන්තුෂ් හදපු මේ සින්දුව අහපු මුල් දවස්වල එච්චර ගතියක් දැනුනේ නැති උනාට අවසාන මහ තරගය කාලේදී වගේ 'ඇගට හොදට දැනුනා'. ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි භාතියලා හදපු Cricket Antherm ( 'රන් හිරු නැගෙනා - මේ ලෝ තලේ ') ගීතයත එක්ක බැලුවම මේක මෙලෝ රහක් නෑ කියන එක. නමුත් මතක තියාගන්න ඕන මේ ගීත දෙක හදුපු අවස්ථාවන් දෙක. විස්සයි විස්සේ ගීතය Event promotion ගීතයක් විදියට සාර්ථකයි කියන තැන මම නම් ඉන්නවා.



4. චන්ද්‍ර කින්නරාවි- බාචි සුසාන්
බාචි කියන සින්දුවලින් 'සරත් සදේ' සින්දුවට පස්සේ මම ආසම සින්දුවක්.මේ සින්දුවෙත් වීඩියෝ එක සින්දුව හිට් වෙන්න බලපැවා කියලා කියන්න පුළුවන්. 'අවසාන මොහොත' මාගේ කියන සින්දුව මගේ ලිස්ට් එක නැති උනත් බාචිගේ මේ සින්දුවට සහ ගායනා කරන විදිය නම් නියමයි.



5.සද රෑ මගේ දෑස මානේ - BnS
BnS ලගේ සරා සිහින ඇල්බම් තියෙන මම කැමතිම සින්දුවක් තමයි මේක.සරා සිහින ඇල්බම් එක ගිය අවුරුද්දේ නිකුත් උනාට මොකද තාමත් ඒකේ තියෙන සින්දු පරණ වෙලා නැහැ. මේ ගීතයේත් සංගීතය භාතිය ගෙන්.

6. මට සුර ලෝකේ මැව්වා - චින්ති
මේක මේ ඊයේ පෙරේදා ආපු චින්ති ගේ සින් දුවක්‌.../.. 'තරුම්නි ඔච්චම් පාමිනා' ගීතයෙන් ලංකාවේ රෙගේ මාකට් එක ආපු චින්ති කරපු ඒ විදියෙම වෙන සින්දුවක් තමයි මේක. ගොඩක් අයට චින්ති ගේ සින්දු දිරවන්නේ නැති උනත් මට නම් සමහර සින්දු අහගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා.වීඩියෝ එකත් හරිම සරල ( ටිකක් රෙගේ ටයිප් එකට සමාන වෙන්න ) කරපු විඩ්යෝ එකක් තමයි තියෙන්නේ.ෂෙහාන් ගලහිටියාව තමයි සින්දුව ලියලා තියෙන්නේ , සංගීතය චින්තිගෙන්.



7. රාත්‍රියේ පිපෙන්නම් - කේෂාන්
මේ අවුරුදෙම එපා වෙන්නේ නැතුව අහපු සින්දු වලින් එකක් තමයි මේකත්. උපුල් ශාන්ත සන්නස්ගල තමයි සින්දුව ලියලා තියෙන්නේ, මහේෂ් දෙනිපිටිය තමයි සංගීතය සපයලා තියෙන්නේ.උපුල් ශාන්ත සන්නස්ගල ආදරණීය වස්සානයට ලියපු 'හීනයකි මට ජිවිතේ' සින්දුවට පස්සේ ලියපු හොදම සින්දුවක් මේක තමයි කියලයි මත හිතෙන්නේ.



සිංහල සින්දු සෙට් එකෙන් ඔය ටික තමයි මට නම් 2012 අහපු හොදයි කියලා කියන්න පුළුවන් සින්දු.මේවා මගේ කැමැත්ත සහ මම අහන ටයිප් එකෙ සින්දු නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.යු ටියුබ් ලින්ක් දාපු නිසා පිටුව ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යයි.

Sunday, November 25, 2012

අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි )

බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්‍රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 1

එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ගියේ චන්ද්‍රිකාව කෙරෙහිය.

ආ. දේශාපලකයා : කොහොමද මන්ත්‍රිතුමා අපේ වැඩ දැන් , සෙල්ලම් නැහැ නේ කෙලින්ම අහසට බඩු යවන්නේ
වි. දේශපාලකයා : අනේ නිකන් ඉන්නව අයිසේ..ඔය චීන කාරයෝ එක්ක එකතු වෙලා මොනවා කරන්න බැරිද
ආ. දේශාපලකයා : ආ එහෙම කියන්න එපා..ඉතින් ඔබතුමාලට එහෙමවත් එකක් කරන්න බැරි උනා නේ..
වි.දේශාපලකයා : අපිට ඉතින් ඔව්වා කරන්න හිතුනේ නැහැ.ඇරත් ඉතින් චීනකාරයෝ මොනවා උනත් දාහක් දෙදාහක් ගත්තොත් නම ගහල දෙනවනේ..දැන් බයිසිකල් උනත් දාහක් දෙදාහක් ගත්තොත් මගේ නම උනත් ගහගන්න පුළුවන්..ඒක හින්දා ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා ගහන එක නම් මහා දෙයක් නෙවෙයි..
ආ දැන් කෝ ඔහෙලගෙ ඔය මල ඉලව්ව
ආ. දේශාපලකයා : තව දවස පහ හයක් යයි
වි. දේශාපලකයා : (මහ හයියෙන් සිනහසෙමින්) ඉතින් හරි නේ ඕයි..චන්ද්‍රිකා උනත් වෙලාවට ආවේ නෑනේ..ඉතින් කොහෙද ඕයි ඕක වෙලාවට උඩ යන්නේ ?

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 2

දැන් දැන් දැනුම බෙදන - රට හදන රුපවාහිනී සංවාදවල මාතෘකාවද චන්ද්‍රිකාය.විද්වතුන් සෑමසියලු දෙනාම චන්ද්‍රිකාට පිස්සු වැටී ඇත.

දැන් බලන්න ....මහත්තයෝ , ඉස්සර අපේ පොඩ් එවුන්ගේ පොත්වල මොනාද තිබ්බේ, අර කොහෙවත් තියෙන ජපානේ පොඩ් කොලුගැටයෙක් නිදා ගෙන ඉන්න ගමන හොයා ගත්තු වල්ගා තරුවක් ගැන.දැන් මම අහන්නේ .....මහත්තයෝ ඕවා දැන ගත්ත කියලා අප ගිරුවාපත්තුවේ බණ්ඩාගේ පුතාට ඇති ප්‍රයෝජනේ මොකක්ද ? නැහැ නේ..ආන්න දැන් එකට දැන් අපේ පොඩ් එවුන්ට , නේද රෑට රෑට ආකාසේ දිහා බලාගෙන ඉන්න කොට හෙමිට එහාට යන තරුවක් දැක්කොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ රටෙන් යවපු චන්ද්‍රිකාවක යනවා කියලා..මේවා දකින්න , කියන්න අපේ ඇස් , කටවල් පින් කරලා තියෙන්න ඕන ........මහත්තයෝ..මටනම් සන් තෝසේ බෑ ..... මහත්තයෝ..

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 3

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ඉහළ පෙළ නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක්.

අමෙරිකානු නිලධාරියා : මොකක්ද මිනිහෝ ඔය කරලා තියෙන්නේ..කිව්වා නේද ඔය මල ඉලව්ව යවන්න එපා කියලා.. දැන් බලනවා වෙලා තියෙන දේ
ලංකාවේ නිලධාරියා : ඇයි ඇයි මොනවද වෙලා තියෙන්නේ
ඇමෙරිකානු නිලධාරියා : ඇයි තමයි..අර බලවා තමුසෙලා යවපු එක අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ඇමිණන්න ගිහින්..ඒකේ හිටපු එවුන් යන්තං ඒක එහාට කරගෙන බේරිලා තියෙන්නේ..අපි යවපු වෙන සැට් එහෙක ඔක වැදිලා අන්න ඒක කඩන්වැටිලා.. මොනාද ඕයි මේ කරන්නේ..චීනාගේ තියෙන්නේ හොර බඩු කියලා තමුසෙලා තාමත් දන්නේ නැද්ද..හෙට අනිද්දා ඔය කොහෙවත් තියෙන යු.එෆ්.ඕ එහෙකට තමුසෙලා යවපු එක පාට් එකක් දාල පුළුවන් නම මෙතන ලෝක යුද්ධෙකුත් සෙට් කරනවකෝ...තමුසෙලත් මොනවා නැතත් මහා ලොකුවට සින්දු හදලා තමයි වැඩ පටන් ගන්නේ..මොනවාද ඕයි හැම මල ඉලව්වටම සින්දුවක් හදනවා..හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?

Sunday, November 18, 2012

ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !

මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.

දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.

රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි මාසේ නේ , ඇයි තාම මේක ඉන්ෂුවරන්ස් එක අලුත් කරගෙන නැත්තේ
අයියා බුවා : ඔව් රාළහාමි ඉතින් දහ වෙනි මාසේ තමයි ඉවර වෙන්නේ
රාළහාමි : ඉතින් ඒක තමා මාත් කියන්නේ..ඇයි එහෙනම් ඉතින් මේක අලුත් කරන්නේ නැත්තේ
අයියා බුවා : ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් ඉවර උනාම නේ අලුත් කරන්නේ
රාළහාමි : ඉතින් මේක ඉවරයි නේ
අයියා බුවා : ඉතින් තාම දහවෙනි මාසේ නේ රාළහාමි
රාළහාමි : මේ දහවෙනි මාසේ වෙන්නේ කොහොමද..මේ එකලොස් වෙනි මාසේ..
අයියා බුවා : නෑ නෑ රාළහාමිට වැරදීලා..තාම දහවෙනි මාසේ

දැන් රාළහාමිත් ටිකක් අප්සෙට් වෙලා.අයියා බුවත් මෙච්චර ෂුවර් පිටම කියනවනම් මේ දහවෙනි මාසේ කියලා, ඇත්තටම මේක දහවෙනි මාසෙද කියල දැන් මිනිහට ෂුවරුත් නැහැ.දැන් මිනිහා ෂේප් එකේ ඇගිලි නව නව ගණන් කරලා බලනවා මේ යන්නේ කීවෙනි මාසේද කියලා. අයියගේ වෙලාවට ( නැත්තම් රාළහාමි ගණන් කිරීමේ හැකියාව හොද කමටද ) දන්නේ දෙයියනේ කියලා ඇගිලි නව නව ගණන් කරපු එකත් වැරදීලා. දැන් රාළහාමි තවත් අප්සෙට්.පස්සේ පාරේ හිටපු කෙනෙක් මාසේ අහලා හරි මාසේ හොයාගෙන.

දැන් ඉතින් අයියා බුවාට බේරෙන්න විදියක් නැහැ නේ.දැන් කතාව යන්නේ මෙහෙම.

රාලහාමි : ඒකනේ මම කිව්වේ මේක එකලොස්‌වෙනි මාසේ
අයියා බුවා : ( පොඩ්ඩක් ඔළුව එහෙම කහන ගමන් ) අනේ රාළහාමිට කියන්න මට ඕක අමතක උනා නේ..මම හිතාගෙන හිටියෙම තාම දහවෙනි මාසේ කියල නේ..
රාළහාමි : මහත්තයා දන්නවනේ ඉතින් ඔහොම අමතක උනාම දඩේ කියාද කියලා..

දැන් ඉතින් අයියා බුවාට ගොනා එන්නේ පොල් පැලෙයි , තැබිලි පැලෙයි දෙකම කාලා වතුරත් බීලා යන්න  කියලා තේරුනා.

අයියා බුවා : පිස්සුද රාළහාමි..මම ඇත්තටම ඕක දැනගෙන හිටියේ නැහැ නේ..නැත්තම් මම වාහනේ එලියට දාන්නේවත් නැහැ.අනික රාළහාමි ඕක ගෙවන්නේ නැතිව හිටියොත් කාටද පාඩුව තියෙන්නේ.රාළහාමිටද ? නැහැ නේ , මේ මට.. මටමනේ ඒකේ පාඩුව තියෙන්නේ. අනික මම කියන්නේ මෙහෙම ගිහින් කොහේ හරි ගිහින් ඇනගත්තා, කාටද පාඩුව , රාළහාමිටද නැහැ නේ..මට මේ මටම තමයි පාඩුව..මේ ලෝකේ කවුරුත් තමන්ටම කෙලවෙන වැඩකරගන්නවද නැහැ නේ..නැහැ..දැන් රාළහාමි උනත් . . . .

මාසේ පැටලිලා බාගෙට මෝල් වෙලා හිටපු රාළහාමිට එක හුස්මට ඔය ටික ඇහුනම තවත් අප්සට් වෙලා, එදා දවසෙම ඉන්ෂුවරන්ස් එක ගෙවන පොරොන්දුව පිට අයියා බුවාට යන්න කියලා.අපරාදේ කියන්න බෑ තාමත් පොර ඉන්ෂුවරන්ස් එක නම් ගෙවලා නෑ.

Sunday, November 11, 2012

කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?

කාරුණික දැනුම් දීමයි

අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්‍ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.

තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා විසින් ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරන ආකාරය ගුගල් සර්වර් හි සිට මම නිරීක්ෂණය කරමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි. දුන් පොරොන්දු ඉටු නොවුනහොත් සුදු පැහැති රේසින් වාහන එවීමට පසුබට නොවන බවද දැන්වීමට කැමත්තෙමි.

වැඩ බලන අමාත්‍ය (බ්ලොග් භාර දෙවියන් වෙනුවට)
- මිනිස්ට්‍රි ඔෆ් බ්ලොග් ඇන්ඩ් රිලේටඩ් අෆෙයාර්ස්
- ආශ්චර්යලන්ඩ්

ප.ලි : විවිධාකාරයේ වැඩ කටයුතු / බාල්දී / ජරමර සිදු වූ බැවින් පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට / කියවීමට නොහැකි වීම ගැන සමාව වනු මැනවි.

ඔබාමා අයියා දෙවැනි පාරට දිනපු එකේ , කලින් පාර ඔබාමා අයියා දිනපු එකට දාපු පොස්ට් එක මෙතන ක්ලික් කරලා බලන්න.



Saturday, July 21, 2012

බිල ගෙව්වනම් සලකා බැලිය හැක !!

මේක උනේ ඒ/ලෙවල් කරපු අන්තිම කාලේදී වගේ.කතාවේ ප්‍රධාන චරිතවලින් එකෙකේ මගේ යාලුවෙක් , අනිත් කෙනා කෙල්ලෙක්. ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්.ඒ කාලේ ( 2007 අන්තිම වගේ ) හවසට තිබ්බ ටි.වී ප්‍රෝග්‍රෑම් එකක් කරා.

මගේ යාලුව ඔය කෙල්ලව මුලින්ම දැකලා තියෙන්නෙත් ඔය හවස ටී.වී ෂෝ එකක් කර කර ඉන්නකොට..මගේ යාලුවත් දැකපු මුල් දවසේ ඉදන්ම ෆුල් ලව් කෙල්ලට. කොහොමහරි දවස් ගානක් චාටර් වෙලා මේකා , ඔය කෙල්ලගේ ෆේස් බුක් එකවුන්ට් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දැම්මා.කෙල්ලත් දවසකට දෙහෙකට පස්සේ මුගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා තිබ්බා.

පස්සේ දවසක කෙල්ල ඔන්ලයින් ඉන්න වෙලාවක් බලලා , පලවෙනි වතාවට මගේ යාලුවා චැට් කරන්න පටන් ගත්තා.ටික වෙලාවක් ගිහින් කෙල්ලගෙනුත් රිප්ලයි එන්න ගත්තා.දැන් ඉතින් මුට රජ මගුල්.කොහොම හරි මේ කාලෙම අලුත් මොබයිල් ෆෝන් එහෙකුත් මගේ යාලුවා අර ගත්තා.අරගෙන ෆේස්බුක් මොබයිල් ඇක්ටීවේට් කරගත්තා.දැන් ඉතින් කෙල්ලයි , මේකයි හෙන ෆිට් වෙලා.හැම තිස්සෙම ෆේස් බුක් මැසේජින්ම තමා.

දැන් ඔහොම සති දෙක තුනක් ගියා, දැන් ඉතින් ඊළග පියවරට යන්න ඕනේ නේ.ඒ කියන්න කැමතිද - නැද්ද කියල අහන පියවරට.දැන් ඒක අහන්න විදියක් ප්ලෑන් කරගෙන ඉන්න කොට , කෙල්ලගෙන් මුගේ ෆේස්බුක් එකට  මැසේජ් එකක් එනවා.

කෙල්ල - Hi **** , ඔයා ෆ්‍රී ද ?
යාලුවා - ඔව් ඔව් කියන්නකෝ !!
කෙල්ල - අනේ බලන්න මගේ මොබයිල් එක කපල නේ. :(
යාලුවා - ආ..එහෙමද
කෙල්ල - ඔව් අනේ..මට යාළුවෙක්ටවත් ටෙක්ස්ට් කරන්න බැහැ නේ.. අනේ ***** ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න.
යාලුවා - මොකක්ද බලන්න කියන්නකෝ 
කෙල්ල - ඔයාට පුලුවන්ද මගේ බිල් එක සෙට්ල් කරන්න 
යාලුවා - කියක් විතරද ?
කෙල්ල - 3200 වගේ තියෙන්නේ අනේ
යාලුවා - ආ !!! #$#$#$#$#
කෙල්ල - අනික මට ඉම්පෝටන්ට් කෝල් එකක් ගන්නත් තියෙනවා අද ?
යාලුවා - ඒකත් එහෙමද...හ්ම්ම්.. කාටද ?
කෙල්ල - මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ට ?
යාලුවා - ආ ඔයාට කලින් බෝයි කෙනෙකුත් හිටියද ?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කොහොමහරි අන්තිමේදී මගේ යාලුවා මොබයිල් බිල් එක නම් ගෙව්වේ නැහැ.ඔය කතා-බහ ගිහිල්ලා , සති දෙක තුනකට පස්සේ කෙල්ල මුත් එක්ක තියෙන කනෙක්ෂන් ටි‍ක ටික අයින් කරා.මේ වෙනකොට නම් කිසිම කනේක්ෂන් එකක් නැති තරම්.කෙල්ල නම් ළගදී බැන්දා කියලත් ආරංචියි.

ප.ලි - දැන් කෙල්ල කවුද කියල හොයන්න නම් එපෝ.දෙන්න පුළුවන් එකම ඉගිය කෙල්ල මේ වෙනකොටත් උදේට උදේට ටි.වී චැනල් එහෙක පත්තර කියවනවා කියන එක විතරයි ;)

Saturday, July 14, 2012

ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !!

සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල තියෙනවනේ අම්රිතා කියලා ටිකක් ප්‍රසිද්ද තෝසේ කඩයක් , අපෙ සෙට් එක ඇතුළු ඔය ක්ලාස් ආපු හැමෝම ඒ දවස්වල කෑවේ බිව්වේ ඔතනින් තමයි. ක්ලාස් එහෙක සෙට් එකක් තෝසේ කඩේට එනකොටම මුදලාලි ගේ මුණ ඇඹුල් වෙනවා , මොකෝ ඉතින් ආවා කියන්නේ කඩේට රුපියල් 200-300 පාඩුයි නේ. ඔය දවස්වල කට්ටිය සෙට් වෙලා කන්න ගිහිල්ලා කඩේට අලාභ කරපු විදි තමයි මේ.

1 ක්‍රමය
ගොඩක් වෙලාවට කන්න යන්නේ හය -හත් දෙනෙක්ගේ සෙට් එකක් නේ.කාලා ඉවර වෙලා බිල එන්න කලින් සෙට් එකේ එකා දෙන්න හිමිට මාරු වෙලා යනවා.එතකොට ඉතින් අන්තිමට ඉන්න දෙතුන් දෙනාට තමයි බිල ගෙවන්න සෙට් වෙන්නේ. හැබැයි පස්සේ ක්ලාස් එකේදී සෙට් උනාම සල්ලි දෙනවා.ඒ වෙනකොට ඉතින් පරම්පරා ගානක නෑයෝ අර බිල ගෙවපු එවුන් මතක් කරලා ඉවරයි.

2 ක්‍රමය
ඔය කඩේ ඉන්නේ සීමිත වැඩ කරන ප්‍රමාණයක්.ඉස්කොලේ ඇරුනම / කට්ටිය වැඩි වෙලාවට , එන අයව පාලනය කරගන්න හරිම අමාරුයි.තමන්ගේ බිල එහෙම ළගට ගෙනල්ලා හම්බුවෙන්න නැති තරම්.ඉතින් ඔය වගේ වෙලාවට ( ඔය වගේ වෙලාවල් බලලම තමයි අපි කන්න යන්නේ ) , මුදලාලි ළගට ගිහින් තමන් කාපු-බීපු දේවල් කියලා තමයි සල්ලි ගෙවලා යන්නේ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනේ , කවදාවත්ම හරියට කාපු දේවල් නම් කියලා නෑ. ;)

3 ක්‍රමය
මෙන්න සාර්ථකම ක්‍රමය.සෙට් එකේ අය ගිහින් කෑම ඕඩර් කරනකොට , තෝසේ කඩේ තියෙන කන්න පුළුවන් හැම ජාතියෙන්ම ගේන්න කියනවා.තොසේ/වඩේ/කොත්තු/පරාටා/රොටි/තේ/බිම/... .සාමාන්‍යයෙන් බිල ගේනකොට  එක එක්කෙනාට වෙන වෙනම ගේන්න කියන්නේ නැහැනේ , ඔක්කොමලටම එකට තමයි ගේන්න කියන්නේ. බිල හදනකොට වේටර් මල්ලිට තමයි තරු පේන්නේ.මොකෝ හැම ජාතියේන්ම එක එක ඒවා ටේබල් එකේ , සමහර ඒවා කාලා නැහැ. ආයේ මොනාද , 10 පාරක් මේ ක්‍රමය පාවිච්චි කලොත් 7-8 පාරක් වත් ගේන්නේ වැරදි බිලක්‌ තමා.

4 ක්‍රමය
හරිම සරලම සහ භයානකම ක්‍රමය. ආයේ කෑවනම් බිව්වනම් මොකටද කාපු-බීපු තැන්වල ඉන්නේ කියලා කියමනක් තියෙනවනේ. කාලා ඉවර උන හැටියේම ටාර් ගාලා මාරු වෙන්න තියෙන්නේ.හැබැයි ඉතින් අහු උනොත් චාටර්.ආයේ ඒ පැත්ත පළාතේ ඇවිත් ඉවරයි.


 මේ ක්‍රම සියල්ලම වගේ , ඒ කාලේ අත්හදා බලලා තියෙන්නේ , ඒ හින්දා සාර්ථකවත්වය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. හැබැයි මේවා පාවිච්චි කරලා චාටර් උනොත් ඔන්න මම නම් නෑ.

Sunday, June 3, 2012

කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!

මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.

මේ සිකුරු සංක්‍රාන්තියේදි අපිට පේන්නේ හරියට සුර්යයා උඩින් සිකුරු ග්‍රහය ගමන් කරනවා වගේ.ඒ උනාට ඇත්තටම වෙන්නේ සූර්යයා,සිකුරු සහ පෘතුවිය එක රේඛාවක එක එල්ලේ පිහිටන එකයි.මේ වගේ පිහිටීමක් එන එක හරි විරල සිදුවීමක්.

මීට කලින් ඒ කියන්නේ 2004 තිබ්බ සිකුරු සංක්‍රාන්තිය අපේ රටට හොදට බලා ගන්න පුළුවන් උනාට මෙදා පාර නම් සම්පුර්ණයෙන්ම බලන්න වෙන්නේ නැහැ.අපේ රටට පැය 4 වගේ කාලෙකට තමයි සිකුරා මාරු වෙන එක බලාගන්න වෙන්නේ.අපේ රටේ වේලාවෙන් උදේ 5.55 පස්සේ ( ඉර උදා උනාට පස්සේ ) තමයි මේ සිකුරු සංක්‍රාන්තිය බලන්න වෙන්නේ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන එක සුදුසු නැහැ, ඒ නිසා සුර්ය පේරෙන පාවිච්ච් කරන එක තමයි සුදුසුම වැඩේ.නැත්තම් සුර්යාගේ ජායාව සුදු බිත්තියකට වැටෙන්න දීලා ඒකෙන් බලාගන්නත් පුළුවන්.ඔය ක්‍රම දෙකම අප්සට් වගේ නම් යකඩ පාස්සන අය පාවිච්ච් කරන ආරක්‍ෂිත දෑස් ආවරණයකින් උනත් මේ වැඩේට හොදයි.

අවුරුදු ගානකට පස්සේ මාරු වෙන මේ සිකුරත් එක්ක බ්ලොග් ලියන / කියවන හැමෝටමත් සිකුරා ලබන්න වාසනාව ලැබේවා !!!!

සංක්‍රාන්තිය බලන්න පුළුවන් රටවල් ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

සිකුරු සංක්‍රාන්තිය ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.


Thursday, April 26, 2012

අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!

දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!

Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.

Tuesday, April 3, 2012

වාසගමේ ප්‍රයෝජනේ

මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්‍න‍ දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "

Tuesday, March 27, 2012

ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Comments

ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා  විදියට ආවත් තාක්‍ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්‍රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).

ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ එක්තරා ආකාරයක උදව්වක්.අවධානය ලැබිය යුතු එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ අවධානය ලැබෙන්නේ නැති කුමක් හෝ ප්‍රවෘත්තියකට ඒ අදාළ ලැබිය යුතු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබා දීමට මේ ගොසිප් සයිට් වලට හැකියාව තියෙනවා.මොකද Google ( දැන් නම් නම කියන්නත් බයයි ) , Yahoo , Facebook වගේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වැඩියෙන්ම පිරිසක් නරඹන වෙබ් අඩවි වෙන්නේ මේ ගොසිප් සයිට්ස්.ප්‍රවෘත්ති සදහාම පමණක් තියෙන වෙබ් අඩවි පවා සමහර අවස්ථාවල මේ ගොසිප් සයිට් විසින් අභිබවා ගිහින් තියෙනවා.

මේ ගොසිප් අඩවිවල තියෙන එක විශේෂත්වයක් වන්නේ කතෘ නාමිකව පෙනී නොසිටීමයි.ඒ නිසා මේ සයිට්ස් එක්තරා ආකාරයක දැලි පිහියක් විදියටත් නම් කරන්න පුළුවන්.ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකට අපහාස කිරීමටත් ( ඕනෑකමක් තියේනම් ) මේ අඩවි භාවිතා කරන්න පුළුවන්.

මේ සයිට්ස් වල කමෙන්ට් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වගේම තමයි ඒ කමෙන්ට් කෙරෙන්නේ බොහෝවිට තමන්ගේ දේශපාලනය,රුචි-අරුචි කම් මතයි.මේ ලිපිය ලියන්නට හිතුනෙත් කමෙන්ට් කතන්දරයකි.ඒ කථාව මෙහෙමයි.

ගායක අමරසිරි පිරිස් මහතාගේ ගීත Ring-n-tone සදහා අනවසරෙන් භාවිතා කර තිබු බවට ගොසිප් අඩවියක් පහු ගිය දවසක වාර්ථා කරලා තිබුනා. ඒකේ තිබ්බ විදියට ජනප්‍රිය තරුණ පොප් ගායකයෝ දෙන්නෙක් තමයි මේ වැඩේට සම්බන්ධ. දැන් ඔය ටික කිව්ව ගමන්ම මතක් වෙන්නේ කවුද ????

ඔය නිව්ස් එක තිබ්බ පොස්ට් එකේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය මේ ගායකයෝ දෙන්න භාතිය - සන්තුෂ් කියලා නිගමනය කරලා තිබ්බ.ඒ විතරක් නම් මදෑ , භාතිය - සංතුෂ් ගේ නෑදෑ - හත්මුතු පරම්පරාවම මතක් කරලා හොදට බැනලත් තිබ්බා.සින්දු රිමික්ස් කරන තැන ඉදන් - සංගීතය කාබාසිනිය කරනවා කියන තැනට එනකන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලත් තිබ්බා.

හැබැයි මුලින්ම ප්‍රවෘත්තිය ගිය සයිට් එකෙන්ම භාතියගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා.ඔහු සමහ තිබුණ සම්මුඛ සාකච්ඡාවත් ඒ සයිට් එකේ පළ කරා. භාතියට අනුව ඔවුන් මේ දේට කොහොමටවත් සම්බන්ද වෙලා නෑ.Ring-n-tone වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනමම කෙනෙක්.ඒ උනාට අදාළ ප්‍රවෘත්තියට තටු ඇවිල්ලා වගේ ප්‍රචාරය උනේ වෙනමම විදියකට.

දැන් තමයි හොදම හරිය , කලින් පොස්ට් එකේ භාතිය-සන්තුෂ්ට පලු යන්න බැනපු අයම දැන් අලුත් පොස්ට් එකේ කමෙන්ට් දාලා අමරසිරි පිරිස් මහත්මයාට බනිනවා , කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක් වැරදි කාරයෝ කරන්න හැදුවා කියලා.

අපේ රටේ අයගේ කන්න ඕන උනාම තලගොයත් කබරගොයා කර ගන්න ප්‍රතිපත්තිය තමයි මේ සිද්ධියෙදී උනත් පේන්නේ.කවුද හරි,කවුද වැරදි කියලා හොයන්නේ බලන්නේ නැතිව කාට හරි බනින්න තියෙනවානම් ඉතින් අපේ අයට එච්චර තමයි ඕනෑ.

ප.ලි - ගොසිප් සයිට් කරන සේ‍වය අවතක්සේරුවට ලක් කරන්න කිසිදු චේතනාවක් නොමැත.ඔවුන් කරන සේවය අතිවිශිෂ්ඨය.

ප.ප.ලි - ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කරන එක්තරා සෙට් එකක් ඉන්නවා.කමෙන්ට් කරන විදිය / කමෙන්ට් කරන නම් / පාවිච්චි කරන වචන වගේ රිසර්ච් එකක් කරන්න තරම් කරුණු එතැන තියෙනවා.

Thursday, March 22, 2012

ආදර ජාති - Types of Love

අපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ).

කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්‍රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.
  • බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.
  • නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.
  • ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.
  • බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )
ඔය ටිකට අමතරව තවත් ආදර ජාති හම්බු උනොත් අටපට්ටමට කියන්න ඕන හොදද !!!

ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.

Sunday, March 18, 2012

බස් මාකටින් - "Marketing" in a Bus

අද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන - කිරිබත්ගොඩ බස් මාර්ගයේදියි කොටුව බස් නැවතුම්පොළේදීයි.

පළවෙනියටම ඉන්නේ සාමාන්‍ය වෙළෙන්දෝ.ඉස්සර නම් මොනවහරි පලතුරු / ටොෆි / චොකලට් වගේ දේවල් ගෙනාවත් දැන් දැන් අයිස් වතුර බෝතල් වල ඉදන් සැහැල්ලු ආහාර විකුණන තත්වයටම දියුණු වෙලා.කොටුවේ නවත්තලා තියෙන බස්වල නම් මේක ඕනෑ තරම් තියෙනවා.

දෙවැනියට ඉන්නේ කිසිම දෙයක් විකුණන්නේවත් නැහැ මුකුත් කරන්නේ නැහැ , හැබැයි අනුකම්පාව දිනාගෙන කියක් හරි ඉල්ල ගන්න බලන අය.සමහරුන්ව නම් ඉතින් දැක්ක ගමන් පේනවා කිසිම අමාරුවක් නැහැ කියලා ඒ උනාට ලෝකේ නැති අමාරුකම් කියවනවා.ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙනව , අපි සල්ලි දෙන්නේ අපි හිතේ හොද චේතනාවකින් නේ ඒ නිසා අදාළ කෙනා කියන්නේ ඇත්ත හෝ බොරු හෝ ඒ දේ අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනි ටයිප් එකත් ට්කක් ප්‍රසිද්ධයි.ඒ තමයි බස්වල පොත් පත් විකුණන එක.බෝධි පුජා කවි / ගාථා පොත් ඒ වගේම සිංහල / දෙමල / ඉංග්‍රීසි වචන 1000 පොත් වගේ ඒවා තමයි ගොඩක්ම විකුණන අය ගේන්නේ.අනිත් විශේෂත්වය වෙන්නේ මේවා විකුණන්නේ පොත් 4 ම රුපියල් 100 කියලනේ.ඒ නිසා පොත අනවශ්‍ය උනත් ලාභ නිසා පොත් ගන්න අය ඕනෑ තරම් ඉන්නවා.

දවසක් බස් එහෙකට නැග්ගා ඔහොම පොත් විකුණන කෙනෙක් , විකුණුවේ අවසාන සටන කියල පොතක්.බස් මාකටින් වල දෙවනියට හොදම මාකටින් එක විදියට මම නම් කරන්නේ ඒක තමයි.පොර මෙන්න මේ විදියට තමයි විකිණුවේ.

" අම්මේ තාත්තේ අපි අද ඉන්නවා හෙට මැරෙනවා , ඒ උනාට අවුරුදු 30 තිස්සේ තිබ්බ යුද්ධය තිබ්බ විදිය දන්නේ අපි විතරයි.. ඔබේ දුව පුතා ඒ දේ දන්නේ නෑ.. ඒ කුරිරු යුද්ධය ඉවර කරපු හැටි දන්නේ නැහැ..අද දෙපැත්තේ හිටයත් මහින්ද මහත්තයයි , සරත් මහත්තයයි යුද්ධේ ඉවර කරපු හැටි ඔබේ දුවා පුතා දැන ගන්නම ඕන.. මේ පොතේ තියෙනවා ඒ විස්තරේ අකුරින් අකුර..දවසින් දවස විස්තරේ..පින්තුර ඔක්කොමත් එක්කම අවසන් සටනේ විස්තර ඔක්කොම තියෙනවා.. "

ඔය කිව්ව විස්තරේට අමතරව සුදූ කොඩි කේස් එකත් එහෙන් මෙහෙන් විස්තරේට දැන්මා..බස් එකේ මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමණයක් ඔය පොත නම් ගත්තා.

හතරවෙනි ටයිප් එක තමයි මාල විකුණන වැඩේ.මේකත් 154 නම් ඕනෑතරම්.මේකෙදි වෙන්නේ කවුරුහරි බුවෙක් බස් එකට නැගලා ඉමිටේෂන් මාල විකුනනවා හැබැයි මේ මාලවල පාට යන්නේ නෑ මොනවා කරත් ( එහෙම තමා කියන්නේ ).ඒක පෙන්නනවා පහේ කාසියකින් හුරලා.ඕන කෙනෙක්ට අල්ලලා බලලා චෙක් කරන්න පුළුවන්.රුපියල් 150 කට තමා විකුණන්නේ.හොදම දේ කියන්න By one Get One Free Offer එකක් තිබ්බ වැලන්ටයින් දවසේ , මාලයක් ගත්තොත් පෙන්ඩන් එකක් නිකන් දුන්නා ( 154 බස්වල )

පස්වෙනි ටයිප් එක සහ මට අනුව හොදම මාකටින් ඇක්ට්  එක. මේක කරන්නේ සෙනග අඩු බස්වලදී. බස් එකේ ඉස්සරහින් තමයි වැඩේ කරන බුවා නගින්නේ , නැගලා ළගම  තියෙන රැක් එහෙක බුරුලියට නුලක් ගැටගහනවා.ඊට පස්සේ ඉස්සරහට ගිහින් තමන් කරන දේ ගැන කියවනවා පොඩ්ඩක් ( මට කියපු දේ නම් හරියටම ඇහුනේ නැහැ ) . ඊට පස්සේ කරන්නේ අර නුලේ එක කොනක් නහය ඇතුලට දාගෙන පොඩ්ඩ පොඩ්ඩ අදිනවා.ඇදලා සම්පුර්ණ නුල්ම දාගන්නවා නහය ඇතුලට , ඊට පස්සේ බස් එකට ඇහෙන්න කියනවා " මම දැන් ඔයගොල්ලෝ දැක්ක නුල මගේ නහය ඇතුලට දාගත්තා , මම මිට කලින් දාගත්තු නුල ගන්නත් මට ඔපරේෂන් එකක් කරන්න ඕන උනා..මේ දැන් මගේ නහය ඇතුලට ගියපු නුල ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙයි..අනේ ඉතින් එකට පුළුවන් විදියට කීය කීය හරි දෙන්න " කියලා. ආතල්ම වැඩේ කියන්නේ ඉතින් අපි කවුරුත් මිනිහට නුලක් දාගන්න කිව්වේ නැහැ නේ , මිනිහම නේ දාගන්නේ. ඒ උනාට අනිත් හැම එහෙකට වඩා ( පොත් විකුණන එක ඇරෙන්න ) වැඩියෙන්ම සල්ලි ලැබුනේ මේකට.මොකද මේක කරපු බුවා කරපු වැඩේ නියමෙටම කරා.

ඔය එක එක මාකටින් ක්‍රම වලට හොයන සල්ලි මොනවට වියදම් වෙනවද කියලා නම් දන්නේ නැහැ හැබැයි ඉතින් මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හොයනවට වඩා ඉතින් කටේ බලෙන් සල්ලි හොයන එක හොදයිද මන්දා.

මේ මාසේ ලියපු මගේ මතය කැටගරි එකේ පොස්ට් එක
ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ද ?

Sunday, March 11, 2012

ලොකු සීන්

සුපුරුදු මා නුපුරුදු ලෙස
හිටියේ ඔබ කෙලෙසද තව

දෑ අවුරුදු මල ඉලව්වේ
ගයපු ගැයුම් අමතකද තීට

ඒ කාලේ කියපු කෙරුම්
ඉතුරුව ඇත හදවතෙහි තව

මැරුණත් මා හෙට අනිද්දා
නැත යන්නේ මතකයෙන් එය

කරපු කියපු ලොකු සීන් නම්
කවදත් නෑ දිරවූයේ මට

කැමති ඕන නැටුමක් දැන්
ඕන ලෙසක නටත හැක

අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට

ප.ලි -  ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්.  ;)


Wednesday, March 7, 2012

ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?

[පින්තුරේ ඉස්සුවේ ගුගල් දෙයියගෙන්]
මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම්  නොවීය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන් පිළිබඳ එතරම් ගැටළුවක් නොවුවත් සමස්ථ උළෙල අසාර්ථක පැත්තට බරය.

පළමු උළෙලේ තිබු අඩුපාඩු මගහරවමින් පැවැත්වූ දෙවැනි සම්මාන උළෙල විශිෂ්ට අන්දමින් පැවැත්විය.සරලවම පැවසුවහොත් ජාත්‍යන්තර සම්මාන උළෙලක තිබිය යුතු ප්‍රමිතිය හැකි පමණ ආරක්‍ෂා කරගනිමින් දෙවැනි උළෙල සංවිධානය කර තිබින.පසුතල අලංකරණය, ආලෝකකරණය ඉතා මැනවින් සිදු කර තිබු අතර ගීත නිර්මාණ අතරට එක්කර තිබු නාට්‍යමය ජවනිකා මගින් උළෙල තවත් අලංකාරවත් කර තිබුනහ.

නොකඩවා තෙවැනි වරටත් මෙවර Music Video උළෙල පැවැත්වුන අතර කණගාටුවෙන් වුවද පැවසීමට ඇත්තේ දෙවැනි වර පැවති සම්මාන උළෙලහි තිබු කික්  එක මෙවර තිබුනේ නැති බවය. දෙවැනිවර තිබු සම්මාන උළෙල තිබු අපුරු හැඩතල කිසිවක් මෙවර තිබුනේ නැත. පසුගිය සම්මාන උළෙලවල් හිදී  ජනප්‍රිය අංගයක් වූ  දුකා - රුක්ෂාන් එකතුව සිදු කරන මඩ ගැසීමේ  අංගය මෙවර තිබුනේ නැත , ඒ වෙනුවට දුකා පමණක් පැමිණ මොනවද සිදු කර වේදිකාවෙන් ඉවත් විය. හාස්‍යෝත්පාදනය සෑම විටම එක ලෙස සිදු කිරීම අපහසු බව සැබෑ වුවත් මෙවර මඩ ගැසීමේ  අංගයට එතරම් සුදානමක් තිබු බවක් නම් පෙනෙන්නට නොතිබින.

සුපුරුදු ලෙසම ගියවර මෙන්ම නිවේදන කටුයුතු සදහා සිටියේ අනර්කලී සහ සාරාංගය.දේශපාලන අනාගැනීම් කුමක් වුවත් ලංකාවේ කඩ්ඩ නිවේදනය සම්බන්ධයෙන් අංක එක අනර්කලීය.ඊටත් අමතරව දැන් අනර්කලී සිටින්නේ වෙනත් නාලිකාවක් සමගය.එසේ තිබියදීත් අනර්කලීට නිවේදනයට ආරාධනා කිරීම සහ ආරාධනාව පිළිගැනීම ගැන දෙරණත්, අනර්කලීවත් අගය කල යුතුය.මන්ද ලංකාවේ මේ තාක් කල් ( නාරද බක්මීවැව හැරුන කොට ) ස්වාධීන මාධ්‍යවේදී  සංකල්පය තිබු කෙනෙක් මා දැක නැති නිසාය. ( මෙහිදී ස්වාධින මාධ්‍යවේදී යනුවෙන් මා අදහස් කරන්නේ එක නාලිකාව සිර නොවී සිටීමය ) .වෙනදා මෙන්ම සාරංගත් තමන්ගේ නිවේදන කාර්‍යය නිර්මාණශිලිව ඉටු කෙළේය. කමල්ගෙන් පසුව නිවේදනය කොපි නොකර කල හැකි පරපුරක් සිටීම ගැන අවංකව සතුටු විය හැක.

ජනප්‍රියම සම්මාන සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කල දා පටන්ම බලාපොරොත්තු වූ පරිදිම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීඩියෝවට හිමි සම්මානය ලැබිණ.ගියවර රම්බරි  ජනප්‍රියම ගීතය වූ අයුරින්ම දිගු දෑස දුටුවාම  ගීතයට ජනප්‍රියම වීමට ඕනෑ තරම් හේතු ඇත.එම වීඩියෝවේ ඕනෑ තරම් අමා ලක්ෂණ ඇත. ;)

සම්මන උළෙලේ කිසිදු සම්මානයක් සම්බන්ධයෙන් මා හට ගැටලුවක් නොමැති වුවත් හොදම වීඩියෝවට හිමි සම්මානය පොලිසිය වීඩියෝවට ලැබිම ගැන නම් ගැටලුවක් ඇත. කසුන් ගේ කදුළු වීඩියෝවත් පොලිසිය වීඩියෝවට වඩා සිය ගුණයක් ඉදිරියෙන් සිටියි.

සමස්ථයක් ලෙස උළෙලේ මා දුටු සුවිශේෂීම අවස්ථාව වුයේ , අහන් ඉන්න - අහගෙන ඉන්න ගීතය ගායනා කරන මේකලා ගමගේ  හොදම නවක නිර්මාණ ශිල්පියාට හිමි සම්මානය ලැබුණු අවස්ථාවයි. කසුන් කල්හාර අතින් ඒ සම්මානය ලබාගන්නා අවස්ථාවේදී උළෙලට පැමිණි සියලු දෙනාම පාහේ  තමන්ගේ අසුන්වලින් නැගී සිට මේකලාට තමන්ගේ ආචාරය පුද කර සිටියහ.

අවසාන වශයෙන් සාම්ප්‍රදායික සම්මාන ආකෘතියෙන් මිදී අලුත් යමක් කිරීමේ උවමානව ඇති දෙරණට සුභ පතන අතරම ලංකාවේ පවත්වන අනිකුත් සම්මාන උළෙලවල් අවම වශයෙන් මේ තත්වයෙන් වත් පැවැත්වීමට සම්මන උළෙලවල් සංවිධානය කරන උදවියට හැකි වේවායැයි ප්‍රාර්ථනා කරමි.

Sunday, March 4, 2012

ක්‍රිකට් - අතුරු කතා

අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.

මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය පටන් ගන්නකොට ලංකාවේ ටීම් එක හිටපු තැනත් එක්ක බලනකොට අපි අද ෆයිනල් එකට ආපු එකම ලොකු දෙයක්.අවුරුදු ගානක් තිස්සේ ලෝක ශුරයෝ එතකොට වර්තමාන ලෝක ශුරයෝ ( නමට හරි ) , අනුශුරයෝ සෙල්ලම් කරන මේ තරගාවලිය කොහොමත් උණුසුම් තමා.

මේ සිරිස් එකේ අන්තිම හරියේ තිබ්බා ඉන්දියා - ශ්‍රී ලංකා මැච් එක කට්ටියට මතක ඇති නේ.ඒ මැච් එක ලංකාව දින්නොත් ඉන්දියාව‍ කෙලින්ම ගෙදර , ඉන්දියාව දින්නොත් ( බෝනස් ලකුණක් ) එක්කම එයාලට තරගාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් නේ තිබ්බේ. ඔය මැච් එකේ අපි මුලින්ම බැට් කරලා 320 ගැහුවනෙ.දැන් අපේ කට්ටිය ෆුල් සතුටින් නේ හිටියේ , මැච් එක අත උඩින්ම දිනුම් කියලා. ඒ උනාට ඉතින් පස්සේදී උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේ. ඉන්දියාව කිසිම ගේමක් නැතිව 320 ලබා ගත්තා විතරක් නෙවේ බෝනස් ලකුණත් ගත්තා. විරාට් කෝලි 100කුත් ගැහුවා.

දැන් ඒක නෙවයි ප්‍රශ්නේ.කෝලි එකපාරට කොහොමද මෙහෙම ෆෝම් උනේ කියන එකයි.මොන දේකට උනත් ඉතින් උත්ප්‍රේරනයක් ( Motive ) එකක් තියෙන්න ඕන නේ. නැත්තම් ඉතින් ඕන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේ.. ඔන්‍න‍ ඕකට උත්තරේ බුකියේ ෂෙයාර් වෙලා තිබ්බ මෙන්න මේ පින්තුරේ තියෙනවා..

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔහොම කියනවනම් ඉතින් මොකාද ෆෝම් වෙන්නේ නැත්තේ මං අහන්නේ.. හැබැයි හොදම හරිය එන්නේ දැන්. ඔය මැච් එකට පස්සේ තිබ්බනේ ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා තරගය.එකෙන් ලංකාව දින්නොත් අපි ෆයිනල්ස් යනවා ( ඉන්දියාව ගෙදර යනවා ) , පැරදුනොත් ඉන්දියාව ෆයිනල් යනවා ( අපි ගෙදර එනවා ) සීන් එකක් නේ තිබ්බේ. අපේ කොල්ලෝ කොහොමහරි ඔය තරගේ දින්නනේ.දැන් ඉතින් අර කලින් පින්තුරේ හිටපු ගෑනු ළමයි දෙන්නට හිතෙන්නේ ඇති නේ , "කලින් දීපු ඔෆර් එක දීලා වැඩක් නෑ " කියලා.ඒ හින්දා එයාලා ඒක අයින් කරගන්න ඇති. අනේ අසරණ කෝලිට මොනවා හිතෙන්න ඇති නේද එහෙම උනා නම්.. ඔන්න ඕකට උත්තරෙත් තිබ්බේ මෙන්න මේ විදියට.

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔය අස්සේ ඉන්දියාවේ ගීත දර්ශවලට ( Chat List ) වලට මේ දවස්වල සිංහල සින්දුත් අහුවෙලා කියලයි කතාව යන්නේ. මේ දවස්වල පලවෙනි තැන තියෙන්නේ " ගහන්න එපා පොඩි දෝනි ට - බනින්න එපා " කියන සින්දුව.ඊළගට තියෙන්නේ " පුංච් දෝනි තරහා වෙලා " කියන එකලු.බලන්න නේ මැච් එහෙකින් කරන්න පුළුවන් දේවල්.

ඊළග එක තිබ්බෙත් බුකියෙමයි.මේක දාලා තිබ්බේ අපේ තුලන අයියා.IPL ගියපු අපේ සමහර ඈයොන්ට වදින්න තමා දාලා තිබ්බේ.හිතට වදින්නම දාලා තිබ්බ මේ දේ මට නම් සියට සියක්ම ඇත්ත.මෙන්න මේක තමා දාලා තිබ්බේ.

"Match එකක් තිබ්බම Office වල වැඩ නවත්තල Online Match බලන මිනිස්සුයි, පාරෙ යන ගමන් කඩේක දාල තියෙන TV එකකට ඔලුව ඔබල cricket match එක බලන මිනිස්සුයි, TV නැතත් වෙළඳ සේවයෙන් ඈපාසිංහගේ අතිශෝක්ති විස්තර විචාරය අහන මිනිස්සුයි, 6ක් ගැහුවත් Facebook එකේ Status Update එකක් දාන Cricket වලට ආදරේ කොල්ලොයි Match එකක් පැරදුනාම හදවතින්ම දුක් වෙන හැටි දන්නවා නම් සල්ලි වලට CRICKET ගහන එක අද ඉදන්වත් නතර කරපල්ල !"

හරි අදට ක්‍රිකට් ගැන එව්වා ඉවරයි..ඔන්න තවත් මේ වගේ අපුරු දේවල් එහෙම තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.

Friday, March 2, 2012

ක්‍රිකට් - විමසුම

අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට ස‍ටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.

එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් නැත.මන්ද පැරදුනේ අපේ ලොකු අයියට වන හෙයිනි.ඕනම පවුලක සිදුවනවා මෙන් අයියා , නගෝ ප්‍රශ්න අප රටවල් අතර ඇත.නමුත් පවුලේ ප්‍රශ්න පිටතට නොදිය යුතුය , පවුලේ දේවල් විසදීමට එහා ගෙදර මිනිහා අනවශ්‍ය.

මේ පරාජය බංකොලොත් දේශපාලන ඇසෙන් බැලීමට හැමදාම මෙන්  අපේ රටේ විපක්ෂය මෙවරද සුදානම් විය.ජිනීවාහිදී සම්මත වීමට නියමිත යෝජනාවෙදී අපිට සහය ලබා ගැනීමට අපි පැරදුන බවට ඒ බංකළොත් පක්ෂ පවසයි.එය එසේ වුවත් වරදක් නැත.මේ රටේ නමට පමණක් සිටින විපක්ෂයකට වඩා ඉන්දියාව මේ කරුණේදී අපි සමග එකට හිටියි නම් එය අපට හයියකි..චුටි නංගි අතින් වරදක් වුවාට , පවුලෙන් නෙරපා දමන සිරිතක් නැත.මේ කාරණා 'අලිමංකඩ කියා පාමංකඩ' යන අයට නොතේරෙයි.

එක පිට එක ජන්ද පරදින පක්ෂයකට අනුව නම් මේ පරාජයත් ලෝක කුසලාන අවසාන තරගයත් අතර සමානකමක් පවතියි.ඔවුන්ට අනුව ලෝක කුසලාන අවසන් තරගයත් අපි ඉන්දියාවට දිනන්නට දී ඇත.මේ තරගයත් ප්‍රසාද ලකුණක් සමග දිනන්නට දුන්නේ මානව හිමිකම් ප්‍රශ්නයට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසා බව ඔවුන් පවසයි.ඔවුන්ට අපිට දීමට ඇත්තේඩ ඉහත පිලිතුරමය.එනම් අප මේ කතාකරන්නේ ඉන්දියාව ගැන මිසක් ඇමරිකාව ගැන නොවන බවය.අප පැරදුනේ ඇමරිකාවට නො‍වන බවයි.ඒ නිසා පැරදුනාට හිතට දුකක් නැත. පැරදී ඇත්තේද අපේම කෙනෙකුටය. ඒ නිසා හිතේ සතුට ඇත.ඒ සතුට මේ රටේ සියලු දේශප්‍රේමී ජනයාට දැනෙනවා ඇත...

අදත් විමසුම පිටපත මිහින්ඩ අසෙබුන්දර ගෙනි....

Sunday, February 26, 2012

ස්ලිට්‌ එකේ ජිවිතේ II

මේ ටිකේම එක එක ජාතියේ තොප්පි වැටුන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය කරක්ගහන්නත් බැරි උනා.ස්ලිට්‌ එකේ ජිවිතේ I කියලා , ස්ලිට් එකේ උන දේවල් ලියන්න ගත්තු එක ලියාගන්නත් බැරි උනා ඒ හින්දා, අද එතැන් සිට..

පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනෑ දේවල් දෙකක් තියෙනවා.එකක් තමයි කලින් පොස්ට් එකේ අපි සෙට් එකේ අය පරක්කු වෙලා ආපු ඒවා ලියලා තිබ්බනේ.ඔය පරක්කුවෙලා එන ඒවනම් ඒ කාලෙන් පස්සේ නැති උනා.දැන්නම් ඉතින් වෙලාවටත් කලින්ම වගේ වැඩ.දෙවැනි එක තමා පොස්ට් එකේ නම ගැන , පොස්ට් එක කියවපු යාලුවෙක් කිව්වා ඕක "ස්ලිට් එකේ ජිවිතේ  " කියලා දාන්නේ නැතිව , "ස්ලිට් එකේ සමයං " කියලා ගියානම් හොදයි කියලා.බලාගෙන ගියාම ඉතින් ඒ කතාවත් ඇත්ත තමයි.ඉන්න කාලෙත් ඕක ඇතුලේ උනේ සමයං වැඩ , දැන් අයින් උනා කියලත් වෙන්නේ සමයං වැඩමනේ.

හරි කොහොමින් හරි ඉතාමත් සාර්ථක පලවෙනි සෙමෙස්ටර් එහෙකින් පස්සේ මමතුමා ඇතුළු අපි තුන් දෙනා දෙවැනි සෙමෙස්ටර් එකට ආවා.ආයේ ඉතින් පළවෙනි සෙමෙස්ටර් එක ගොඩයාම ඉහලින්ම සමරන්නත් අපි තුන් දෙනා අමතක කරේ නැහැ.Dine-More එක තියෙන්නෙත් මෙට්‍රෝ එක ළග පාත නේ , ඒකට ගිහින් සැමරුවා.අපි තුන් දෙනා පාස් උන එක ඔච්චර සමරන්නත් හේතුවක් තිබ්බා.මොකද yAkA ට ඒ දවස්වල ආරංචියක් ඇවිත් තිබ්බ ඩ්ග්‍රී කරන්න වැල පිටින් ආවට , ඩිග්‍රී එක දෙන්නේ පොඩි ගානකට කියලා.

මේ සෙමෙස්ටර් එකෙත් සබ්ජෙක්ට්ස් පහක් තිබ්බා.DBMS, System Analysis and Design , Technical Communication,Data Communication & Computer Networks සහ Java. හා හා පුරා කියලා සෙමෙස්ටර් එක පටන් ගත්තු දවසෙම තිබ්බ DCCN ලැබ් එක මායි yAkA යි කට් කරා.මොකද උදේම ගිහින් පොත් ටික අරගෙන එනකොට ලැබ් එකෙන් භාගයක් ගිහින්.අපි දෙන්නා ලැබ් එකේ භාගයක් කරලා තියෙද්දී ගිහින් උගන්නන ලෙක්චර් ගේ නෙට්වර්ක් මොකටද අවුල්  කරන්නේ කියලා හිතලා , පොත් ටිකත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා.

ඔය Data Communication කියන සබ්ජෙක්ට් එක කරේ සර් කෙනෙක්.ඒ සර් ආපු පලවෙනි ලෙක්චර් එකේදීම කිව්වා , "මගේ ලෙක්චර්ස්වලට කව්රුවත් පරක්කු වෙලා එහෙම එනවා නෙවෙයි " කියලා. හරියට අපි තුන් දෙනාගේ කල්-කිරියාව දැකලා කිව්ව වගේ,අපිටත් හරි පුදුමයි. පලවෙනි දවසේ ලෙක්චර් එකට ඉදලා , පලවෙනි පාරට ටියුට්‌ එකට ඉන්නකොටම අපි තුන් දෙනාම ඒකමතික තීරණයකට ඇවිත් ඉවරයි ආයි නම් ටියුට්‌ වලට ඉන්නේ නෑ කියලා.yAkA නම් පලවෙනි දවසින් පස්සේ ලෙක්චර්ස් ආවෙත් නෑ , මායි කස්සයි නම් ලෙක්චර්ස් ටික ඇදගෙන ගියා ( වෙලාවටත් ආවා වගේ මතකයි ).ඔය ලෙක්චර් එකයි ටියුට්‌ එකයි දෙකම තියෙන්නේ එක වෙලාවේ වගේ.ලෙක්චර් එක ඉවර වෙලා විනාඩි 10 වගේ ඉන්ට'වල් එකක් දෙනවා.ඔය වෙලාවේ සර් එලියට යන්නෙත් නෑ , ඉස්සරහා තියෙන ස්ටේජ් එකට වෙලා එක්කෝ පොතක් කියවනවා , නැත්තම් ටියුට්‌ එකක් බලනවා.ටියුට්‌ එක කට් කරනවා නම් යන්න වෙන්නෙත් මේ දෙන  විනාඩි 10 තමයි , නැත්තම් ඉතින් චාටර් වෙනවනේ.

ටියුට්‌ එක කට් කරන එක චාටර් නොවී කලාත්මකව කරන්න මායි කස්සයි නියම ක්‍රමයක් ඔය දවස්වල පාව්ච්චි කරා.විනාඩි 10 ඉන්ටවල් එක දුන්න ගමන් කස්සා මොකක් හරි අන්ධභූත ප්‍රශ්නයක් අරගෙන සර්ව හම්බුවෙන්න යනවා.ඔය අරගෙන යන ප්‍රශ්නෙත් ඇවිල්ලා මෙලෝ රහකට නැති එකක් ( අයියෝ සල්ලි  දැන් තමයි ඉතින් ඒවා තේරෙන්නේ ).කස්සා ප්‍රශ්නෙට උත්තරේ අහගන්න අතරේදී මම ටාර් ගාලා මගේ නයි මල්ලක් වගේ තිබ්බ පොත් බෑග් එකයි  , කස්සගේ පොත් ටිකයි අරගෙන හෝල් එකෙන් පනිනවා. දැන් උනත් ඉතින් ෆස්ට් ඉයර් අයට කරලා බලන්න පුළුවන් , කරලා චාටර් වෙලා ඔන්න මට කියන්න එපා. මුල දවස්වල ඔය විදියට පැන්නත් පස්සේ පස්සේ නම් ඉතින් සර් බලන් ඉන්නකොට වගේ නැගිටලා ආවා..හිකිස්‌

දැන් මේ කාලේ කියලත් කට්ටියගේ Halo උණ නම් නතරවෙලා තිබ්බේ නෑ. නිකන් ඉන්න වෙලාවක් තියෙනවානම් ( ගොඩක් තිබ්බේ ඒ වගේ ඒවා තමා :P ) හරි ලෙක්චර්ස් කලින් ඉවර වෙච්ච ගමන්ම කරන්නේ ලැබ් එහෙකට සෙට් වෙලා Halo ගහන එක තමා.ඔන්න ඔය කාලේදී තමයි මම හා හා පුරා කියලා ( ස්ලිට් එකේ  වැඩ වලට කියලා ) ඉන්ටනෙට් ගන්නේ.කොහෙද ඉතින් , Halo ඔන්ලයින් ගහන්න පුළුවන් කියලා yAkA හොයාගන්නවනේ.දැන් ඉතින් පැය 24 න් භාගයක් විතරම ෆුල් ටයිම් Halo ම තමා. ඔය කාලේදී පුරුද්දක් තිබ්බ රෑ දෙකට - තුනට නැගිටලා මොකක් හරි සර්වර් එහෙකට ජොයින් වෙලා Halo ගහන.කොටින්ම ඒ කාලේදී Maps එහෙම කට පාඩම්..ෆුල්ම ෆන් ඒ කාලේ.

මම ඉස්සෙල්ලා කිව්වනේ මේ සෙම්ස්ටර් එකේදී තිබ්බ කියලා System Analysis & Design කියලා සබ්ජෙක්ට් එකක්.ඕකේ නම කෙටි කරලා අපි කිව්වේ SAD කියලා.නම වගේම තමයි සබ්ජෙක්ට් එකත් So Sad.ෆුල් තියරි ගොඩක් එක්ක එක එක කන්සෙප්ට් තොගයක් තිබ්බේ.උගන්නපු මිස් නම් එළකිරියට ඉගැන්නුවා.අනිත් ඒ වගේ ටියුට්‌ කට් කරපු අපි ඉතින් මේකේ ටියුට්‌ කට් කෙරුවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ;)

ඊළගට තිබ්බ ෆුල්ම ෆන් සබ්ජෙක්ට් එක තමා Java.අපරාදේ කියන්න බෑ , yAkA ඇරෙන්න මායි කස්සයි කලින්ම ලෙක්චර්ස් ඇවිල්ලා , ලැබ් තියෙන ඒවටත් කලින්ම ඇවිල්ලා ෆුල් ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එක තමයි මේක.මේ සෙමෙස්ටර් එකේ මට වැඩිම ලකුණු තිබ්බෙත් මේ සබ්ජෙක්ට් එකට.

මේ සෙම්ස්ටර් එකේ උන සිරාම සිද්ධි දෙක තුනක් තිබ්බා.එකක්  තමයි ටැලන්ට් ෂෝ එක.අපි ෆස්ට් ඉයර් ඉන්නකොට තුන්වෙනි අවුරුද්දේ අයියලා - අක්කලා සෙට් එක තමා මේක කරේ.අපිටත් ඇවිත් කිව්වා , නාට්‍ය / නටන ඒවා / සින්දු කියන ඒවා කරන්න කැමති නම් සෙට් වෙන්න කියලා. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් වගේ යනකොට සින්දුවක් දෙකක් කිව්වට කට්ටිය ඉස්සරහ‍ සින්දු කිවිමේ හැකියාව පිහිටලා නැති නිසා මායි කස්සයි අපිට ලැබුණු ආරාධනාව ඉතාම සතුටින් ප්‍රතික්ෂේප කරා.ඒ උනාට නටන්න උපන් හැකියාවක් තියෙන නිසා yAkA නම් නටන අයිටම් එහෙකට ගියා.මේකාට ලෙක්චර්ස් එන්න කම්මැලි උනාට මොකෝ නටන්න පුරුදු වෙන්න නම් රට වටේම ගියා.කොහොමින් හරි ටැලන්ට් ෂෝ එකෙත් අපේ ෆස්ට් ඉයර් සෙට් එක කරපු අයිටම් වලින් හොදම නාට්‍යට ලැබෙන තෑග්ගයි , හොදම නැටුමට හිමි තෑග්ගයි ( කොහොමත් අපේ එකේ හිටපු බුවාලට සහ බුවීයන්ට හොද හොද නැටුම් නටන්න පුළුවන් :P ) දෙකම ලැබුනා.ටැලන්ට් ෂෝ එකෙන් පස්සේ වගේ තමයි හරියටම අපේ ඩොටී ඇතුළු බැච් එකේ ගොඩක් අය හරියට අදුර ගත්තේ. කොටින්ම කියනවනම් බුකියේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට බැච් එකේ කට්ටිය එකතු උනෙත් ටැලන්ට් ෂෝ එකේ ෆොටෝස් වල කට්ටිය ටැග් උනාට පස්සේ.ඔය ෆස්ට් ඉයර් ටැලන්ට් ෂෝ එකේ අතුරු කතා නම් එමටයි.කාගේ කාගේත් හිත සුව පිණිස ඒ කතා බ්ලොගයේ පළ නොකරමි :P

අනිත් වෙච්ච සිරාම වැඩේ තමයි අපේ බැච් එකට මල්සරා ගේ පැමිණීම සනිටුහන් වීම.ටැලන්ට් ෂෝ එකේදී බැචාලා , බැචීලා හැමෝවම වගේම අදුරගෙන හිටපු හින්දා කට්ටියටම මල්සරා මාමා ගේ ඊතල හොද ගානට වැදුනා.සමහරු කෙල්ලොන්ගේ පස්සෙන් ගිහින් කැමැත්ත අහලා , බෑ කියලා සාටර් උනා.සමහරුන්ට බාල ගිරි උත්තර ලැබුනා ( කැමැත්ත අද නෙවයි හෙට ).සමහරුන්ට ලැබුණ උත්තර වලින් කට්ටිය සතුටු උනා.එක එක ජාතියේ වෙඩින් ගොඩයි.මගේ බ්ලොග කියවන දැනට ස්ලිට් එකේ උගන්නන මගේ යාලුවෙක්ටත් මල් මාමාගේ ඊතලය වැදුනෙත් මෙන්න මේ කාලේදී තමයි.දැන් ඉතින් බලයි නේ , හැම එකා ගැනම කියන තොට මොකද උනේ කියලා..අවුරුදු 21 තිස්සේ මල් මාමා ගේ ඊතළ පහරවල් වලින් බේරිලා හිටපු මටත් , නීරෝ ස්නයිපර් ෂොට් එකක් දෙනවා වගේ ඊතලයක් වදිනවා මේ කාලේදී .ඔය ජැකලින් / දීපිකා පදුකෝන් වගේ කට්ටිය අයින් කරාම ,ඒ වෙනකම් විහිළුවටවත් ආදරේ කරලා තිබ්බේ නැති මම ( විහිළුවට ආදරේ කියන එක කරන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙත් නෑ  ) මගේ පලවෙනි , කුලුදුල් ආදරෙත් පටන් ගන්නවා...දැන් නම් පොස්ට් එක වල් වැදෙනවද මන්දා..කොහොමහරි ඔය ටොපික් එක ලංකාවේ මානව හිමිකම් වගේ හොට් ටොපික් එකක් හින්දා වැඩිය කතා නොකර ඉන්න තරමට හොදා...

මේ කාලේ තනිකරම පාටි වලින් පිරුණ කාලයක්.දෙන්නෙක් කපල් උනා කියන්නේ, ගොඩක් වෙලාවට උන් දෙන්නට ඇරෙන්න අහල පහල ඉන්න එවුන්ට මගුල් ගෙයක් වගේ නේ.කොහොමින් හරි මෙහෙම මාසේ දෙක තුන යනකොට කස්සයි , yAkA යි මාත් එක්ක තියෙන ෆිට් එක අඩු වෙනවා.කොටින්ම එකට කකා - බිබී හිටපු ඒවාත් නැති වෙනවා.එකට ලෙක්චර්ස් ආපු , ඉවර වෙලා එකටම ගියපු ෆිට් එකත් නැති වෙනවා.එහෙම වෙන්නත් හේතුවක් තිබ්බ.ඒකත් මානව හිමිකම් වගේ මතබේදාත්මක කේස් එහෙකට සම්බන්ධ නිසා වැඩිදුර කතා නොකරමි ( කස්සයි , yAkA යි තාමත් සහ ජිවත් වෙලා ඉන්නකම් මගේ ඉන්න හොදම ෆිට් දෙකක් , ඒක කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නෑ )...ඔය ඔය ආයේ වල් වැදුනා මේක..

දැන් ෆස්ට් ඉයර් අන්තිම විභාගෙටත් එන්න එන්නම කාලේ ළගයි.දැන් නම් බැච් එකේ අය අදුරගෙන හිටපු නිසා ගියා පාර වගේ මිස් උන (කරපු ) ලෙක්චර්ස් වල නෝට්ස් හොයන්න වැඩිය චාටර් වෙන්න උනේ නැහැ.කලින් පාර නම් විභාගේ කිට්ටුව මායි , කස්සයි , yAkA ගෙදරට වෙලා පාඩම් කරත් , මේ පාර එක එක හේතු හින්දා එහෙම උනේ නැහැ. කස්සයි , yAkA යි ගෙදරට වෙලා පාඩම් කරත් මම ස්ලිට්‌ එකට ඇවිත් සාටර් වේවි හිටියා.කොහොමින් හරි විභාගෙත් ලිව්වා කියමුකෝ.

විභාගේ ප්‍රථිපල එනකොට හිතුවේ නැති දේවල් ගොඩක් වෙලා තිබ්බා.ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙලා තිබ්බත් , ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටපු හීනෙ සුදු කොඩි වැටෙන්න පටන් අරන් තිබ්බ.කොටින්ම GPA එක දැක්ක ගමන් මට කදුළු ආවේ නැති එක විතරයි.ඔය සෙමෙස්ටර් එකේදී කෙල වෙච්ච GPA එක හදාගන්න ඉතුරු සෙමෙස්ටර් හතරේ කාපු කට්ට දන්නේ මායි මගේ හිතයි විතරයි.

මගේ ජිවිතේ ආපහු පටන් ගන්න කියලා කවුරු හරි මට චාන්ස් එකක් දුන්නොත් මම ආපහු යන්නේ මෙන්න මේ සෙමෙස්ටර් එකට.මොකද පස්සේ කාලෙකදි උන ගොඩක් දේවල්වල පටන් ගැන්ම උනේ මේ සෙමෙස්ටර් එකේ උන දේවල්.ඒ දේවල් දැන් වැඩක් නැහැ..වෙන්න තිබ්බ දේවල් උනා...

පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මගේ වැඩ :

  • GPA එක කෙලවිම සහ ෆස්ට් ක්ලාස් සිහිනයට සුදු කොඩ් පෙනෙන්නට පටන් ගැනීම.
  • Dine-More එක ගෙදර වගේ වීම සහ Submarine එක ජාතික ආහාරය බවට පත් වීම.
  • කෙල්ලෙක් සෙට් වීම.
  • බැච් එකේ ඔක්කොම එවුන් වගේ ෆිට් වීම.
ඔන්න ඔහොම තමයි මගේ ස්ලිට්‌ එකේ පලවෙනි අවුරුද්ද එහෙමත් නැත්තම් මගේ දැනට ගෙවපු ජිවිතේ Turning Point කාලය ගෙවුනේ.අනිත් අවුරුදු දෙක ගැනත් ලියනවද නැද්ද කියලා ආයේ දෙපාරක් , තුන් පාරක් නෙවෙයි n වතාවක් හිතලා බලන්න ඕන.මොකද මිට පස්සේ තිබ්බ අවුරුදේ දෙකේදී වෙච්ච හැම දෙයක්ම වගේ මම සම්පුර්ණයෙන්ම වගේ අමතක කරලයි තියෙන්නේ , ආයි මොකටද අමතක කරපුවා මතක් කර ගන්නේ..අනිත් දේ ඊළග අවුරුදු දෙකේදී ඉගෙන ගත්ත එක විතරයි හරියකට උනේ.අනිත් හැමද්ම අප්සෙට් යන්න පටන් ගත්තා..ඒක හින්දා ලියන්න වෙන්නේ කොමඩි නැති , සීරියස් විදියට වැඩ කරපු දේවල් ගැන තමා...බලමුකෝ !!

Saturday, February 18, 2012

තොප්පිය වැටුන දා...

හිතවත් Chamma වෙත ,

ඉතින් ඔබගේ සැප දුක් කෙසේද ? මම නම් තාමත් සුපුරුදු පරිදි තොප්පියක් දෙකක් විකුණගෙන චාටර් වේවි ඉන්නවා.ඔබතුමා ඇතුළු සෙට් එකක් තොප්පි දාගත්තා කියන නිවිස් එක ලැබුන නිසා තමා මේ ලියමන ලියන්න හිතුනේ.

දැන් ඉතින් තොප්පි කිව්වම එක එක ජාතියේ තොප්පි තියෙනවනේ.මල තොප්පි , චාටර් තොප්පි , සතුටුදායක තොප්පි වගේ.දැන් ඊයේ වැටුනේ ඇවිල්ල සතුටුදායක තොප්පියක් නේ. කොහොමත් බොට එහෙම මේ අවුරුදු තුන,හතරට කියලා වැටුන තරමක් වැටුනේ තොප්පිම නේ , එයිනුත් ඉතින් ඔය සතුටුදායක තොප්පියක් වැටුනමද කොහෙද නේ.

අවුරුදු ගානක් තිස්සේ සාටර් උනේ ඉතින් ඔය තොප්පිය දාගන්න නේ.ඒ උනාට මට ආරංචි උන විදියට තොප්පි දාන උත්සවේ තිබ්බ දවසේ නම කස්ටිය හැමෝම හිටියේ කොයි වෙලාවේ තොප්පියයි , ලෝගුවයි ගලවනවද කිය කියලු නේද ? අනේ ඇයි එහෙම උනේ.තොප්පිය දාගෙන ඉන්න පින්තූර ගන්න ගිහිල්ලත් කට්ටියට නියම තොප්පි ටිකක් වැටුනලු නේද?

තොප්පි දාන්න කියලා ඉතින් ඔයාලා සෙට් එකත් එක්ක කී දෙනක් ආවද නේද , ඒ උනාට ඉතින් එක එක හේතු හින්දා ඒ අයට තොප්පි දාන උත්සවේට එන්න බැරි උනා නේ.ඒ අය නැතිව කට්ටිය පාලුවෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තේ.කොහොමත් බොලාලගේ පට්ට සෙට් එකක් හිටියනේ , ඔයින් ඊයේ දවසේ එන්න බැරි උන එවුන් බොලාලට මතක් නොඋනොත් නේ පුදුම.බොලාලගේ මෙච්චර කාලයක් තිබ්බ ෆිට් එක තවත් ඉස්සරහට , පුළුවන් තරම් කාලයක් ගෙනියන්න පුලුවන්නම් තමා හොද , එහෙම තමා වෙන්නත් ඕන.

මම එහෙනම් මේ ලියමන අහවර කරන්නයි යන්නේ , මේ පාර තොප්පි දාගන්න පුළුවන් උන හැමෝටම ඔන්න මගෙන් ටිකක් විතර සීතල වෙච්ච් සුභ පැතුම්.පළවෙනි තොප්පියෙන් නවතින්නේ නැතුව තව තව තොප්පි දාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.හැමෝටම සුභ අනාගතයක් .

මිට ,
සදා තොප්පි සපයන ,
තොප්පි වෙළෙන්දා

ප.ලි - ඔය දාගත්තු තොප්පි ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මණට ලැබෙන්න සැලස්සුවොත් හොදා , නැත්තම් වෙනම  තොප්පියක් ඒකට වැටෙන්න පුළුවන්.


Tuesday, February 14, 2012

මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු

ඊයේ ඒ කියන්නේ අළුත් සතියක් පටන් ගන්න දවස.චතුරිකා අක්කා හැමදාම කියන බිවිවොත් දවස ප්‍රබෝධමත් වෙනවා කියන ඒවයින් එකක් බිලා මාත් පුරුදු පරිදි දවස පහේ චාරිකාව පටන් ගන්න එලියට බැස්සා.මුළු බස් හෝල්ට් එකම කඩි ගුලක් වගේ.එතකොට තමයි මතක් උනේ බස් ස්ට්‍රයික් එහෙකුත් තියෙනවා නේද කියලා.මොනවා කරන්නද ඉතින් පොදු ප්‍රවාහන සේවයනේ තාම පාවිචිචි කරන්නේ, හිටියා මොකක් හරි බස් එකක් එයි කියලා හිතාගෙන.ආපු ඔක්කොම බස් පොල් පටවන්න වගේ මිනිස්සු පටවලා , ඒවගේ යන්න තියා හිතන්නවත් බෑ.ඈත තියා හිස් බස් එකක් එනවා දැක්ක නිසා මාත් වීරයා වගේ පාර මැද්දට ගිහින් දැම්මා අත.අනේ අපොයි බැලින්නම් හමුදාවේ බස් එකක් නොවෑ.හෝල්ට් එකේ කාටවත් වැඩේ මීටර් නැති නිසා වැඩිය බයිට් උනේ නෑ..

කොහොමහරි හෝල්ට් එකේ පැය භාගයක් විතර චාටර් වෙලා බස් එහෙක කෙසේ වෙතත් කෝච්චියකින් වැඩ කරන තැනට සෙට් උනා.එහෙට ගියාම තමයි දැනගත්තේ මම වගේම අනිත් අයත් මේ කට්ටම කාල තියෙනවා කියලා.ස්ට්‍රයික් එකේ රගේ තේරුණේ එතකොට තමයි.ආයේ ගෙදර එනකොටත් ඒ වගේම කට්ටක් කාලා යාන්තමට ගෙදර ආවා.ඇවිල්ලා මේ නිව්ස් එක දැක්කම තමයි ආයි ඇගේ මාළු ඔක්කොම නටන්න ගත්තේ.
මම දන්නා විදියට Unsuccessful කියන්නේ අසාර්ථකයි කියන එකට.ඒ උනාට ඉතින් බස් ස්ට්‍රයික් එකනම් අසාර්ථක නැහැ.උඩින්ම සාර්ථකයි.හැමදාම වගේ කට්ටිය ස්ට්‍රයික් කරලා බස් ටිකට් ගාන කොහොමහරි වැඩි කරගන්නවා.

අනේ මන්දා ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේට මොනවා වෙන්න යනවද කියලා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුම තමා.

අනිත් සීන් එක තමා ඊයේ රෑ මට මොනම චැනල් එහෙකවත් නිව්ස් එකක් බලන්න බැරි උනා.සාමන්‍යයෙන් මේ වගේ ස්ට්‍රයික් එකක් තියෙන දවසක හැම චැනල් එහෙකින්ම වගේ බස් හෝල්ට් වල චාටර් වේවි ඉන්න මිනිස්සුන්ගේ වොයිස් කට් ගන්නවනේ.මේ පල්ලෙහා තියෙන්නේ මට හිතෙන විදියට ලංකාවේ චැනල්වලට මිනිස්සු දෙන වොයිස් කට් ( මෙහෙම උනාද කියලා නම් ඔන්න මම දන්නේ නැහැ )

අද දෙරණ : මොනවා කරන්නද ඉතින් එයාලා ස්ට්‍රයික් කරනවා , අපි මෙහෙ විදවනවා..ආණ්ඩුවවත් එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න ඕන..අසරණ මිනිස්සු නේ මේ පාරවල්වල ඉන්නේ

සිරස නිව්ස් ෆස්ට් : මේ ආණ්ඩුවට කිසිම දේක පාලනයක් නෑ..එහෙන් ඩිසල් , පෙට්‍රල් වැඩි උනා..දැන් මෙයාලා ස්ට්‍රයික් කරනවා , මේ රටේ ආණ්ඩුවක් කියලා එකක්  නැද්ද ?

ජාතික රූපවාහිනී: හැම එකටම ඉතින් ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ නේ  , ඔය බස් කාරයෝ කොහොමත් ඔහොම්ම තමා හිතුන හිතුන වෙලාවට ස්ට්‍රයික් කරනවා..

අයි.ටි.එන් : මේ ඔක්කොම කරදර ඉතින් ඇමරිකාව අර ඉරනෙට සම්බාධක දාපු හින්දනේ..නැත්තම් අපිට ඒ රටෙන් හොද ලාභෙට ඩිසල්,පෙට්‍රල් ටික හම්බු වේවි නේ තිබ්බේ..ඇමරිකන්කාරයා ඒකටත් කෙලෙව්වනේ..මේ වෙලාවේ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..අපි ඔක්කොම ඔය ඇමරිකන්කාරයෝන්ගේ මේ වැඩවලට් විරුද්ධව නැගීටින්න ඕන...

Sunday, February 12, 2012

SQL වලින් ලව් කරමු

එන්න එන්න වැලා ගේ දවසටත් ලං වෙනවනේ.කට්ටිය දැන් ඉදන්ම වැලාව ඉහළින් සමරන්න සමහරවිට සෙට් වෙනවත් ඇති.අද මේ කියන්න හදන්නේ ළගකදී ආපු ඊයක තිබ්බ එකක්.

මේකේ තියෙන්නේ හොද පෝසත් කෙල්ලෙක්ට ලව් කරන IT  කරන (බැදපු)කොල්ලෙක් එයාගේ හිතේ තියෙන දේ තමන්ගේ විදියට කියපු හැටි.ඒකට වයිපරේ  දෙන උත්තරයකුයි.IT කරන හින්දා ඉතින් නිකන්ම ලව් එක කියන්නත් බැරි හින්දා SQL වලින් තමයි හිතේ තියෙන දේ කියන්නේ.

ඔන්න කොල්ල තමන්ගේ හිතේ තියෙන දේ මෙන්න මෙහෙම කියනවා,

CREATE PROCEDURE MyMarriage ( 
BrideGroom Male (25) , 
Bride Female(20) ) 
AS 
BEGIN 

SELECT Bride FROM srilankan_ Brides 
WHERE FatherInLaw = 'Millionaire' 

AND Count(Car) > 20 AND HouseStatus ='ThreeStoreyed' 
AND BrideEduStatus IN ( Bsc in IT , Msc ) AND Having Brothers= Null 
AND Sisters =Full 

SELECT Gold ,Cash,Car,BankBalance 
FROM FatherInLaw 

UPDATE MyBankAccout 
SET MyBal = MyBal + FatherInLawBal 

UPDATE MyLocker 
SET MyLockerContents = MyLockerContents + FatherInLawGold 

INSERT INTO MyCarShed VALUES ('BMW') 
END  GO 

ඕක දැකපු පොරගේ වයිපරේ දෙන්නේ මේ වගේ උත්තරයක්

DROP HUSBAND; 
Commit; 

ප.ලි : SQL වැඩිය මීටර් නැති අයට ,
Procedure එකක් කියන්නේ සරලවම Data ඇක්සස් කරන්න යොදා ගන්න ක්‍රමයක්.
SELECT කියන්න අදාලා ටේබල් ඒකෙන තෝරගන්නවා කියන එක.
UPDATE කියන්නේ වචනේ තේරුමම තමා , ටේබල් එක අප්ඩේට් කරනවා කියන එකයි.
INSERT එකෙන් කරන්නේ අපිට අවශය ටේබල් එකට Data ඇතුළු කරන එකට.
අන්තීමට DROP කරනවා කියන්න ඒ ටේබල් එක සම්පුර්ණයෙන්ම Database එකෙන් අයින් කරනවා කියන එකට.

Thursday, February 9, 2012

ඇයි බ්ලොග් ලියන්නේ ?

මම සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේදී වගේ.මුලින්ම කඩ්ඩෙන් තමා බ්ලොග් එක ලිව්වේ.ඔහොම ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ.ඊට පස්සේ තමා මගේ කඩ්ඩ බ්ලොග් එක සිංහල වෙන්නේ.ඔය කාලේදී අහල පහල ඉන්න යාලුවෝ මම බ්ලොගක් ලියනවා කියල දැනගෙන හිටියේ නෑ , උන් ඒක දැන ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම අහනන දෙයක් තමයි , " ඇයි බන් උබ බ්ලොග් එකක් ලියන්නේ " කියන එක.ඔය දේට මම ඒ කාලේ ඉදන්ම දීපු උත්තර ටික තමයි මේ.
  • උබලා කරන කියන දේවල් මම ලිව්වේ නැත්තම් වෙන කව්ද බන් ලියන්නේ.
  • ටි.වී සිරිස් ටික ඉවරයි , ඉතින් කරන්න දෙයක් නෑ
  • මොකෝ රෑ වෙනකන් මම මල් කඩන්න කියලද , බ්ලොගක් කියවන / ලියන එක විතරයි තියෙන්නේ.
ඔය අනං මනං උත්තර දුන්නට මොකෝ මාත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හරියට දැනගෙන හිටියේ නෑ.මොකද ඔන්න බුවා වගේ මම ලියන ඒවගෙන් රට හැදෙන්නෙත් නෑ නේ ( බුවා ලියන ඒවගෙන් එහෙම වෙනවද :P ).මේ ලියන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 52 පොස්ට් එක.ඔය පොස්ට් ඔක්කොම එක එක දේවල් ගැන ලියපු ඒවා.ඒ ඔක්කොම මටයි මගේ අහල පහල ඉන්න එවුන්ට වෙච්ච දේවල් ( අපරාදේ කියන්න බෑ මට තමයි වැඩි හරියක් දේවල් උනේ ).ඔය පොස්ට් 52 ටම තියෙන්නේ එකම එක අප්සට් සිදුවීමක් විතරයි.ඒකත් උනේ  වැරදි වැටහීමක් හින්දයි.ඒ දේ ඇරෙන්න බ්ලොග් ජිවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ හොද සතුටුදායක දේවල්.

ඉස්සරහටත් අතුරු ආන්තාරාවක්‌ නැතිව හිටියොත් මේ බ්ලොග් එක මගේ සතුට වෙනුවෙන්  දිගටම පුලුවන් හැටියකට ලියන්න හිතාගෙන ඉන්නවා.කොහොමත් බ්ලොග් එකක් කියවන / ලියන කෙනා තමයි ඒකේ තියෙන රසේ දන්නේ.බ්ලොග් ලියන අය මාත් එක්ක එකග වෙයි ඒ දේට.

මාව දන්න අය කියපු දෙයක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ මම ද කියලා ෂුවර් නෑ කියන එක.මොකද එහෙම කියන අය දන්න මමයි , බ්ලොග් එක ලියන මමයි හෙන වෙනස් ලු.මේ ඊයේ පෙරේදා දවසක වැඩ කරන තැන උන කතාබහක්.එතන ඉන්න සමහරු නම් දන්නවා මම බ්ලොග් එකක් ලියනවා කියලා.අපි කට්ටියක් කතා කර කර ඉන්නකොට අපිත් එක්ක ඉන්න ගෑණු ළමයෙක් මගේ දිහා හැරිලා..

ගෑනු ළමයා : මේ ඔයාගේ බ්ලොග් එක මම කියෙව්වා..අන්තීමට ලියලා තිබ්බ ටිකෙන් ටික එකයි , ස්ලිට් එකේ එකයි දෙක තුනම කියෙව්වේ..ඒ ඔයා මාරයි නේ..
මම : ඇයි ඒ මොකද ?
ගෑනු ළමයා : නෑ ඒ ඔයාමද ලියන්නේ කියලා හිතන්න බෑ නේ..බ්ලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒ ඔයාද කියලා හිතන්න බෑ ..අනික ඔයා මෙතන ඉන්නේ හරියට  10 ට ගණන් කරන්න බෑ වගේ නේ  !!!!

ඇත්තම කියනවනම් මට  ඒ වෙලාවේ එතනම වලක් කපාගෙන යන්න හිතුනා.

Tuesday, February 7, 2012

ටිකෙන් ටික - ටිකෙන් ටික - Daddy

ඊයේ බුකියට ගියාම දෙතුන් දෙනෙක් ෂෙයාර් කරලා තිබ්බ ලින්ක් එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.ලින්ක් එකේ තිබ්බේ Daddy බෑන්ඩ් එක අලුතින් කරපු ටිකෙන් ටික කියන සින්දුව ගැනයි.ඒ සින්දුවෙන් "භවතු සබ්බ මංගලන්" ගාථාව රැප් කරලා කියනවා කියලා තමයි ලියපු කෙනා කියලා තියෙන්නේ.කොහොම හරි අන්තිමට කියලා තියෙනවා මේ සින්දුව තහනම් කරන්න කියලත්.

අපි කරන කියන දෙයකින් මොනයම් හරි ආගමකට හරි ජාතියකට හරි අපහාස වෙනවනම් ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.ඒ උනාට මට නම් මේ සින්දුවේ කිසිම අවුලක් පේන්නේ නැහැ.සින්දුවේ මැද හරියේදී භවතු සබ්බ මංගලන් ගාථාව තියෙනවා තමයි.හැබයි ඒ රැප් එහෙකට නෙවයි.මේ වගේම කතාබහක් ආවා (මීටත් වඩා ) BnS ලා තම්දෙනා සින්දුව හදපු කාලේ.නුවර පෙරහැරේ බෙර වාදනයක් ගත්තා කියලා.පස්සේ ඉතින් කාලයත් එක්ක එහෙන්ම ඒවා නැති වෙලා ගියා.

අහලා නැත්තම් මේ තියෙන්නේ සින්දුව අහලා බලන්න.


හැබැයි ඉරාජ් ගේ සිත්තිමනීලා ගීතය තහනම් කරපු එකත් වැරදියි.මොකද කවුරුහරි හිතනවනම් ඒකෙනුත් කාටහරි අපහාසයක් වෙනවා කියලා , ඒකත් හරි ලාමක සිතුවිල්ලක්.කොහොමත් මේ රටේ ගොඩක් අප්සෙට් දේවල් වෙන එකේ මේ දේවල් මොනවද කියලත් හිතෙනවා.ගොඩක් රටවල්වල අවුලක් නැතිව පෙන්නපු Da Vinci Code අපේ රටේ තහනම් කරා ( කතෝලික බහුතරයක් ඉන්න රටවල්වලත් තහනම් නොකරට ). හැබැයි ඒ තහනම The Angels & Demons එකට තිබ්බේ නෑ.

පොස්ට් එක ඉවර කරන්න කලින් අපේ යාලුවෝ දෙන්නෙක් අතර වෙච්ච් කතාබහක් කියන්නම්.මේක උනේ  චින්ති ගේ කඩප්පුලි ඇල්බම් එක ආපු කාලේ වගේ තමයි.කතාවේ ඉන්න එකෙක්ට චින්ති ගෙ සින්දු පෙන්නන්න බෑ.සංස්කෘතිය විනාශ වෙනවා , මත් ද්‍රවය ගැන සින්දු කියනවා කියලා තමයි මිනිහා කියන්නේ.

1 යාළුවා : මොනවද බන් ඔය කිසිම සින්දුවක් තේරුමක් නෑ.. මල් ගැනයි , ගංජා ගහන හැටි නේ ඔය සින්දු තියෙන්නේ..ඕවා තමයි මේ රටේ සංස්කෘතිය නැති කරන්නේ ..ඔය සින්දු ඔක්කොම තහනම් කරලා දාන්න ඕන..
2 යාළුවා : උබ අහන්න අකමැති කියලා අනිත් එවුන්ට කරන්න දෙයක් නෑ නේ , අහන එවුන් අහනවා - නැති එවුන් නිකන් ඉන්නවා..අනික උබට එකක් කියන්නම් චින්ති ගෙ සින්දු තහනම් කරලා මේ රටේ සංස්කෘතිය හදන්න පුළුවන් කියලා උබ හිතනවානම් උබට පිස්සු..මොකද උගේ සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ..


Update
Daddy බෑන්ඩ් එක මේ ගැන බුකියේ දාල තිබ්බ පැහැදිලි කිරීම.

Sunday, February 5, 2012

ස්ලිට් එකේ ජිවිතේ I

බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉදන්ම මේ වගේ පොස්ට් එකක් ලියන්න ඕන කියන එක හිතේ තිබ්බට මොකක් හරි කොස්සක් වැටුනා.දැන් ස්ලිට් එකේ වැඩත් ඉවර එකේ තවත් කල් යවන්නේ නැතිව ස්ලිට් එකේ කරපු පිස්සු ගැන ලියන්න ඕන.

මම ඕ'ලෙවල් කලේ 2004 අවුරුද්දේ.ඉස්කෝලේ බාහිර වැඩ වැඩිය නොකෙරුවාට ඉගෙනගන්න වැඩ ටික අවුලක් නැතිව කරා.ඒ හින්දා ඕ'ලෙවල් ඒ 8 එක්ක පාස් වෙන්න පුළුවන් උනා.ඒ'ලෙවල් කරන්න ආසාවෙන් හිටියේ බයෝ වලින්.දන්න කියන අයගේ සහ ගෙදරින් තිබ්බ දැඩි විරුද්ධතාවය නිසා බයෝ කිරිල්ල කෙසේ වෙතත් මැත්ස් කරන්න සෙට් උනා.මොකද IT කරන්න මෝරා යන්න ආසාවක් තිබ්බ නිසා මාත් වැඩේට බැස්සා.

ඕ'ලෙවල් කාලෙට වඩා වෙන වෙන වැඩ කරන්න සෙට් උනත් පාඩම් වැඩ ටිකත් ෂේප් එකේ කරගෙන ගියා. 2007 ඒ'ලෙවල් කලා.රිසල්ට්ස් එනකොට මොරා කෙසේ වෙතත් සබරගමු වගේ යන්න පුළුවන් සීන් එකක් තිබ්බේ . ඔය අතරේ E-soft එකේ කම්පියුටර් කොස් එකක් කරන්න කියලා ගියා.ඕකෙදි තමයි yAkA ව සෙට් වෙන්නෙත්.එතැන්දී තමයි දැනගන්නේ ස්ලිට්‌ කියලා එකක් තියෙනවා කියලා , ඒකෙ  ඩ්ග්‍රී එකක් ළගකදී  පටන්ගන්නවා කියලා.පස්සේ මම ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවලා මෙට්‍රෝ එකට බාරදුන්නා ඊට සතියකට පස්සේ ගෙදරට ලියුමක් එනවා ටෙස්ට් එකක් තියෙනවා ලියන්න එන්න කියලා.ටෙස්ට් කිව්වම ඉතින් මොනවද දන්නෙත් නැහැ නේ .ඒ හින්දා රටේ තියෙන ඔක්කොම IQ ටෙස්ට් කරලා ටෙස්ට් එකට යනවා.ඒකේ නම තිබ්බේ මෙලෝ රහක් නැති I.Q ප්‍රශ්න.කොහොමහරි ටෙස්ට් එකත් පාස් කියලා ලියුමක් ජනවාරි මුල ලැබෙනවා.පෙබරවාරි මුල සෙමෙස්ටර් එක පටන් ගන්නවා ඒකට එන්න කියලා තමයි ඒකෙ තියෙන්නේ.

ආ කියන්න බැරි උනා ඉස්කොලේ ඒ'ලෙවල් කාලේ ඉදන් වගේ මගේ තිබ්බ පුරුද්දක් තමයි වෙලාවට වැඩ (නො)කිරීම.කොහෙට හරි 10 ට එන්න ඕන නම් මගේ යාලුවෝ ගොඩක් අය මට 9.30ට වත් එන්න කියන එක සිරිතක්.ආයේ මොනවාද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ , ස්ලිට්‌ එක හා හා පුරා කියලා පටන් ගත්ත දවසෙත් මම ස්ලිට් එක යනකොට අම්බානෙක පරක්කුයි.මට මතක විදියට 10 ට එන්න කියලා තිබ්බ එකට මම යනකොට 11 ටත් කිට්ටුයි.සාමාන්‍යයෙන් යකා උනත් වෙලාවට වැඩ කරන්නේ නැහැ.පුදුමේ කියන්නේ ඔය පටන් ගන්න දවසේ නම් කස්සා , යකා ඔක්කොමලා වෙලාවට ඇවිත් හිටියා.

තකට තක හිටිය අපේ සෙට් එකේ පරක්කු වෙලා වැඩ කරන එක කොච්චර පුරුද්දට ගියාද කියනවනම් ස්ලිට්‌ එකේ ලියපු පලවෙනි විභාගේ ඉදන් අන්තිම විභාගේ වෙනකම් අපි තුන් දෙනාගේ සෙට් එකේ කව්රුවත් විභාගේ පටන් ගන්න වෙලාව්දී හෝල් එකේ නැහැ.හැමදාම අඩුම ගානේ පැය භාගයක්වත් පරක්කුයි.කස්සා නම් එක පාරක් විනාඩි 45 විතර පරක්කු උනා.හැබයි අපි තුන් දෙනා කොච්චර පරක්කු වෙලා විභාගෙට ආවත් එකම විභාගයක්වත් රීපිට්  වෙලා නැහැ ( වෙලාව මදි වෙලත් නැහැ ).ආයේ ඉතින් අපේ ටයිමින් කොහොමද නේද. ඔය පරක්කු වෙලා එන රෙකොඩ් එක නම් කාටවත් කඩන්න වෙන්න නැහැ.ඒක නම් ෂුවර්.

හරි කොහොමෙන් හරි ඔන්න ස්ලිට්‌ යන පලවෙනි දවස එනවා කියමුකෝ.ඔරියන්ටෙෂන් ප්‍රෝග්‍රැම් එකක් තමයි මුල් මාසේ වගේ තිබ්බේ.8.30 පටන් ගන්නවා කියපු එකට යන්තම් 8.45 ගියා.මුලින්ම කඩ්ඩ උගන්නන එකක් තිබ්බේ.කස්සයි ,යකායි මායි ගිහින් ඔන්න පිටිපස්සෙන්ම තැනක් අල්ලාගෙන ඉන්නවා.ඔය අතරේ වටේ පිටේ ඉන්න දෙතුන් දෙනක් කතාවට සෙට් උනා.මුලින්ම කතාවට සෙට් උන බුවා , Java වැඩකරුවෙක්(ලු). SCJP කරලා තියෙනවාලු.BCS Exam කරන කෙනෙක්.ඊළගට සෙට් උන කෙනා මොරටුව කැම්පස් එකේ රිසර්ච් ඇසිස්ටන්ට කෙනෙක්.ඔය කාලේ වෙනකොට SCJP,BCS ඔය දේවල් මොනවාද කියලවත් දන්නේ නැහැ.නිකමට වගේ කතා කරපු දෙන්නම පට්ට ඩයල් දෙකක්.මම කස්සට කතා කරලා.

මම :  මේ ස්කෝල් එක දාන එක නම් හරියන් නැහැ..මේ එහා පැත්තේ එකා Scjp ද මොකක්ද එකක් කරලා තියෙනවා , අනිත් එකත් මොරටුවේ මොනවද කරනවා බන්..අපිට ඇඩ්රස් නැති වෙන සීන් එකක් තියෙන්නේ...
කස්සා : යකෝ SCJP කියන්න ජාවා exam එකක්..මාත් ඒක කරලා තියෙනවා..ස්කෝල් වැඩේ නම් අතඅරින සීන් එකක් තමයි තියෙන්නේ..මුන් දෙන්න මෙහෙම නම් අනිත් උන් කොහොම ඇත්ද..

කොහොමහරි සෙම්ස්‌ටරේ පටන් ගන්න ඉස්සෙලා තුන් දෙනා දැන් පාඩම් කරන්න ප්ලෑන් එහෙමත් හදාගෙන ඉන්නේ. මොකද ස්ලිට් එකේ සෙම්ස්ටර් එහෙක හොදම ලකුණු තියෙන කට්ටිය ස්කෝල් එකක් දෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තිබ්බා. මුලදී තිබ්බ සබ්ජෙට්ස් තමයි Maths , C , Programming Techniques , Business English Communication , Fundamentals of IT . ඔය සෙට් එකෙන් ලෙක්චර්ස් හරියට ගියේ C , PTP විතරයි, ටියුට්‌ නම් ගියේම නැති තරම්. වැරදිලාවත් ටියුට්‌ ගියත් ඉවර වෙන්නේ කොයි වේලාවේද කියා කියා තමයි බල බල ඉන්නේ.

ඔය අතරේදී අපිට PTP ප්‍රසන්ටේෂන් එකක් හදන්න සෙට් උනා. හවස් වරුවක අපි තුන් දෙනා ඕක හදන්න කියලා ලැබ් එහෙකට ගියාම මෙන්න සීනියර් අයියලා ටිකක් සද්දෙට කෑ ගහගන්නවා.අපි තුන් දෙනත් හිමිට කිට්ටු කරලා බැලින්නම් කට්ටිය PC ටික LAN කරගෙන Halo ගහනවා. දැන් ඉතින් මොන ප්‍රසන්ටේෂන්ද , දෙපැත්ත බෙදිලා ගැහුවා Halo. එදා ස්ලිට් එකෙන් යනකොටත් 7.30 විතර ඇති.කොහොමහරි රෑ එලි වෙනකම වගේ කට්ට කාගෙන ප්‍රසන්ටේෂන් එක හදලා ඊළග දවසේ එළටම ප්‍රසන්ට් කරා.

දැන් අපි තුන්දෙනාගේ ලිස්ට් එකට තව වැඩක් සෙට් උනා , ඒ තමයි Halo ගහන එක.කස්සා නම වැඩිය Halo වලට සෙට් උනේ නැහැ.මමයි යකායි නම් ආයි ෆුල් ටයිම් Halo.සමහර දවස් තිබුනා ලෙක්චර්ස් හිටපු වෙලාවට වඩා ලැබ් එකේ Halo ගහපු වෙලවා වැඩි.

ඔය කාලේදී තමයි මිඩ් එකත් ආවේ.ලෙක්චර්ස් යන්නේ නැතිව කොහෙන්ද නෝට්ස්.මොනවා කරන්නද බැච් එකේ එවුනුත් වැඩිය දන්නෙත් නැහැ මේ වෙනකොට.ස්ල්යිඩ් ටික බාගෙන ගුගල් දෙයියා අමතලා යම්තම් මිඩ් එක ලිව්වා. මට තාම මතකයි මැත්ස් මිඩ් එකට යකාට 40/40 , මටයි කස්සටයි 38/40 .අනිත් ඒවාත් අවුලක් නැතිවා තිබ්බා.

ඔය කාලෙම තමයි බුකියේ තිබ්බ මාෆියා වොස්‌ කියන ගේම් එක සෙට් වෙන්නේ.ඕක ගහපු අය දන්නවා ඕකට ඇබ්බැහි උනාම තියෙන ආතල් එක කොහොමද කියලා.අපරාදේ කියන්න බෑ , අපි තුන්දෙනාත් මේ කාලේ වෙනකොට ෆුල් ආතල් එකේ Halo , Mafia Wars ගහලා ආතල් එකේ ඉන්නවා. දැන් ඔන්න ෆයිනල් එකත් ළගයි.දැන් නම බැච් එකේ එකා දෙන්න දන්නා නිසා ගියපු නැති ලෙක්චර්ස් වල ( ගොඩක් ගියේ නැති ඒවා තමයි තිබ්බේ ) නෝට්ස් ෆොටෝ කොපි කරගෙන ලේස්ති වෙන්වා.බැච් එකේ අය මේ කාලේ කුප්පි එහෙමත් දානවා. මට මතක විදියට අපි ඉතින් ඒවාටත් බයිට් දදා Halo ගහමින් හිටියා.කොහොමහරි exam එකත් ෂේප් එකේ කරගත්තා.හැබයි මේ වෙනකොට ස්කෝල් එකේ බලාපොරොත්තුව නම අතඇරලා හිටියේ.මේ යන විදියට මොන ස්කෝල් ද ?

ඔන්න ඔහොම ෆුල්ම ෆන් එකේ තමයි අපේ ෆස්ට් සෙම්ස්ටර් එක ගෙවුනේ.තාමත් පිස්සුවෙන් වගේ Halo ගහපු හැටි මතක් වෙනකොටත් හිනා.Sniper Suwa , Ganga , Kill4  ඔන්න අපේ Halo ගහපු අයගේ.

කොහොම හරි පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙම්ස්ටර් එක ඉවර වෙනකොට කරපු වැඩ සාරාංශ කරොත් .

  • කොච්චර පිස්සු කෙලියත් , ලෙක්චර්ස් කට් කරලා තිබ්බත් 3.4 GPA එහෙක හිම්කරුවෙක් වීම සහ  ෆස්ට් ක්ලාස් එකක් ලබාගැනීමේ සිහිනයේ මුල් පියවර තියන්න (ට්‍රයි) එකක් දීම.
  • Halo හෙඩ් ෂොට් එක පුරුදු වීම. ( ඒ උනාට තාම බෑ )
  • බැච් එකේ භාගෙට භාගයක් අදුරගෙන නොතිබීම ( ඇයි ඉතින් ලෙක්චර්ස් ඇවිල්ලා කට්ටිය එක්ක අපි වැඩිය සෙට් උනේ නැහැ නේ ) .
  • ගුණසිරි හෝටලයෙන් නොකා බැරි වීම.

ඔන්න ඔය ටික තමයි ස්ලිට්‌ එකේ ගත කරපු පලවෙනි සෙම්ස්ටර් එකේ උනේ.මට මතක් උන විදියට ඔක්කොම වගේ ලිව්වා මිස් කරන්නේ නැතිව.මේ ටික ලියන්න දවස් පහක් විතර ගියා.ඊගාවට තියෙන්නේ ඉතින් ටිකක් අප්සෙට් සෙම්ස්ටර් එකක් , දැනටත් මේක මාගලක් වගේ දිග වැඩි උන හින්දා ඒක ඊළග පොස්ට් එකට තමා.

Wednesday, February 1, 2012

කුස - පබා

මේක උනේ පහුගිය දවසක වැඩ කරලා ඉවර වෙලා රෑ ගෙදර එනකොට.මම සාමන්‍යයෙන් ගෙදර එනකොට 8 විතර වෙනවා.ඒක හින්දා අහල පහල එකෙක්වත් ළගකදී සෙට් උනේ නැහැ.මේ කිව්ව දවසේත් කාලෙකින් සෙට් උනේ නැති එකෙක්ව තමයි සෙට් උනේ.ඔය ආගිය තොරතුරු අනං මනං කතා කරන ගමන් බුවා ඇහුවා..

බුවා : අඩෝ මේ උබ පබා බැලුවද ?
මම : උබ දන්නවනේ මම ඔය මෙගා කෙස් බලන්නේ නැහැ කියලා
බුවා : නෑ බන් මේ නාට්‍ය සීන් එක නෙවයි බන්..අර ෆිල්ම් එකක් තියෙන්නේ....පුජා ඉන්න එක බන්
මම : නෑ බන් බැලුවේ නැහැ..ඇයි මොකෝ සීන් ඒක ?
බුවා : අඩෝ මේ සෙනසුරාදා යමු බලන්න , පුජත් ඉන්නවනේ
මම : එළ ..පුළුවන් උනොත් තමා

ඔය කිව්වට ඉතින් සෙනසුරාදා හවස් වෙනකම් මට කුසා පබා මතක් උනේ නැහැ.ඇරත් වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉදන් විනෝදාංශය විදියට කරගෙන ආපු නිදා ගන්න එකත් කරන්න බැරි වෙන හින්දා සෙනසුරාදා දවසෙන් භාගයක් විතර නිදා ගන්න තමයි වෙන් කරලා තියෙන්නේ.කොහොමහරි ෆිල්ම් එක බලන්න මට යන්න උනේ නැහැ.පස්සේ ඊට පස්සේ ඉරිදා මට අර බුවා කතා කරලා කියනවා.

බුවා : අඩෝ වැඩක් නෑ බන් ඒ ෆිල්ම් එක...මෙලෝ රහක් නෑ.
මම : වෙන්න බෑ බන්..ඒක ඇවිල්ලා හෙන ගානක් වියදම් කරලා හදලා තියෙන්නේ..චාටර් වෙන්න බෑ බන්.. බුවා : ඒවා මං දන්නෑ බන්..මට මෙලෝ දෙයක් තේරුනෙත් නෑ..ඉන්න උන් කතා කරන්නෙතේ කවි කියනවා වගේ...තිබ්බ සින්දුත් නිකන් මෝල් වගේ
මම : ඉතින් බන් රජ කාලේ කතාවක් නේ..ඒක හින්දා තමයි එහෙම කතා කරන්න ඇත්තේ..
බුවා : ඉතින් යකෝ එහෙනම් අර අශෝක් එකත් රජ කාලේ සීන් එකක් නේ..ඒකේ ඔහොම අප්සෙට් එකක් තිබ්බේ නැහැ නේ..අනික ඒකේ සින්දුත් පට්ට නේ..අඩුම ගානේ හින්දි තේරෙන්නේ නැති එකේ කරීනා දිහා හරි කට ඇරගෙන බලන් ඉන්න තිබ්බා...
මම : ඉතින් උබ පුජා දිහා බලන් හිටියේ නැද්ද
 බුවා : මගුලක් කතා කරනවා..මට හෙන වෙලාවක් ගියා එ ඉන්නේ පුජාමද කියල මීටර් කරගන්න..මට නම් මෙලෝ රහක් නෑ බන්..
මම : ඒ ඉතින් උබේ ටේස්ට් එකනේ..
බුවා : මේ ඒක නෙවයි..ෆිල්ම් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා ගියා සුපර් සික්ස් එකේ ට්‍රේලර් එකක්..අන්න ඒකනම් පට්ටයි..අන්න ෆිල්ම් බන්.. ***** ඉන්නවා අදුරගන්නත් බෑ..ඔන්න ඕකනම් අනිවා බලන්න යමු හරිද
මම : බලමු බලමු..තාම ආවෙත් නැහැ නේ..

ඔන්න අපේ එවුන්ගේ චිත්‍රපට විචාර බුද්ධිය.

Sunday, January 29, 2012

මල්ලි යන්න මල්ලි අවුලක් නැහැ

මේ සීන් එක උනේ අපේ ඉස්කෝලේ බුවෙක්ට.ඒ/ලෙවල් කරලා ඉවර උන ගමන්ම වගේ පොරට පොඩි  ජොබ් එකක් සෙට් උනා.ඔහොම අවුරුද්දක් දෙකක් ඉන්නකොට බුවා ගත්තා මදුරුවෙක්ව.දැන්නම් ගණන් උනාට ඉස්සර මදුරුවෙක් එච්චරම ගණන් නැහැ නේ.මතක විදියට බුවා ගන්නකො‍ට 30 වගේ තමයි උනේ.

දවසක් යාලුවෙක් හම්බුවෙලා කරන්න තිබ්බ හදිසි වැඩක් බුවාට සෙට් උනා.කොළඹට තමයි යන්න තිබ්බේ.බුවත් ඉතින් මදුරුවාගේ පිටේ නැගලා ගමන යන්න ගියා.දන්නවනේ ඉතින් කොලඹ ට්‍රැෆික්.මදුරුවෙක් නෙවෙයි , මැස්සෙක්ගේ පිටේ උනත් යන්න බැහැ.බුවත් ඉතින් එහෙන් මෙහෙන් අස්සෙන් දාලා යන්න ගියා.ටික දුරක් යනකොට ඉන්ග්ලිෂ් නම්බර්ස් තියෙන මොන්ටෙරෝ එහෙක මේ මදුරු රාජයා හැප්පුනා.අපරාදේ කියන්න බැහැ මොන්ටෙරෝ එකේ පිටිපස්සේ ලයිට් එක කුඩු.බොඩි එකත් ලාවට වගේ හිරිලා.මොනවා කරන්නද අපේ බුවත් පාරේ පැත්තකට කරලා වාහනේ නැවැත්තුවා.

මොන්ටෙරෝ එකේ ඩ්‍රයිවර් දොර අරගෙන එළියට එනවා දැන් බුවාට පේනවා.වැරැද්දත් තමන්ගේ හින්දා ඉතින් මොකුත් නොකියා ඉන්නවා කියලා බුවා හිතාගෙන හිටියා.අපේ බුවා හිටියේ රබර් දෙකක් දාගෙන ඩෙනිමක් ඇදගෙන.ඩ්‍රයිවර් ඇවිත් බුවා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා.

පොඩ්ඩක් ඉන්න මම මහත්තයට කතා කරලා එන්නම්  කියලා ගියා.

දැන් අපේ බුවාට තව අප්සෙට්.ඇමති , මන්ත්‍රී කෙනක් ද දන්නෙත් නැහැ නේ.මොනවා උනත් හිතට හයිය අරන් ඉන්නවා කියලා හිතාගෙන හිටියා.ඔන්න එතකොට ඉස්සරහා දොර ඇරගෙන අයිති කෙනා එනවලු.

අයිතිකාරයා : මල්ලි පාර බලාගෙන එලවන්න එපැයි..
බුවා : ඔව් සර් , මම හරියට දැක්ක නැහැ වාහනේ එනවා
අයිතිකාරයා : මල්ලිට තුවාලද ?
බුවා : නැහැ නැහැ සර්..ප්‍රශ්නයක් නැහැ..
අයිතිකාරයා : කෝ මල්ලි ගන්න බලන්න ලයිෂන් ඉන්ෂුවරන්ස් එහෙම
මදුරුවොන්ට මොන ලයිසන් , ඉන්ෂුවරන්ස් ද
බුවා - මේවා ඉන්ෂුවරන්ස් කරලා නැහැ සර්
අයිතිකාරයා : ඔයා කොහෙද වැඩ කරන්නේ ?
බුවා : මම **** වැඩ කරන්නේ
අයිතිකාරයා : මාසෙකට කියක් විතර හම්බුවෙනවද ?
බුවා : වැඩිය නැහැ සර් , 10,000 විතර තමයි ලැබෙන්නේ
අයිතිකාරයා : ( ටිකක් වෙලා කල්පනා කරලා ) මල්ලි යන්න මල්ලි..අවුලක් නැහැ..මම ඔයාගෙන් මගේ ලයිට් එකයි ඉතුරු ටිකයි හදන්න සල්ලි ගත්තොත් ඔයාට අඩුම ගානේ මාස 2-3 වත් සල්ලි දෙන්න වෙනවා එහෙම නැත්තම් ඔය බයිසිකලේ විකුනන්න වෙනවා..ඒක හින්දා මල්ලි යන්න.

අපේ බුවා ඉතින් ඊට පස්සේ මදුරුවාගේ පිටේ නැගලා ගියපු වේගේ කියන්න ඕන නැහැ නේ.

Saturday, January 21, 2012

SOPA එපා

බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න කියලා ඇමෙරිකාවේ ආණ්ඩුවෙන් ගෙන්න හදන පනතක් තමයි මේ SOPA ( Stop Online Privacy Act ) කියන්නේ.බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න පනත ගේන එක කෙසේ වෙතත් මේ පනත ගේන්නේ ලොකු ලොකු කම්පැණි වල අවශ්‍යතාවටය කියල තමයි දැනට නම් පෙන්නේ.ඊයේ පෙරේදා මේ ගැන ලොකු කතාවක් ගියාට සෙනෙට් සභාවට පනත දාල තිබ්බේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ.

සාමානයෙන් ලංකාවේ ඉන්න අපි කවදාවත් ටී.වී සිරිස් එහෙමත් නැත්තම් ෆිල්ම්ස්වල ඔරිජිනල් සල්ලි දීලා ගන්නේ නැහැ නේ.මොකද එච්චර ගානක් වියදම් කරන්න අපිට බැරි නිසා.හැබැයි මේ පනත සම්මත උනොත් ඔය ඔක්කොම නැති වෙනවා.

සරලවම කිව්වොත් ප්‍රසිද්ධ රෙකෝඩ් ලේබල් එහෙකට අයිති සින්දුවක් පොඩ් ළමයෙක් කියලා , ඒක Youtube/Facebook  එකේ අප්ලෝඩ් කළා කියලා කියමු.මේ පනතෙන් පුළුවන් අර ලේබල් එක අයිති කම්පැනියට Youtube / Facebook එකට නඩු දාලා ඒ සයිට් එක වහලා දාන්න.අර ළමයට විරුද්ධව නීති මගින් කටුයුතු කරන්නත් පුළුවන්.නිකන් හිතන්නකෝ කොලවරි සින්දුව වගේ එකක්.එක එක විදියට සින්දුව වෙනස් කරා කියන එක යටතේ ( අවසර නැතිව ) නිකන්ම නඩු වැටෙනවා.

තවත් දෙයක් තියෙනවා දැන් අපි හිතමු මොකක් හරි කන්ටෙන්ට් එකක් ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තියෙනවා කියලා.හැබැයි ඔය කන්ටෙන්ට් එක Search කරාම Search Results වල පෙන්නනවා.දැන් මේ පනතෙන් පුළුවන් Search Engine එක විරුද්ධව උනත් නඩු පවරන්න.

ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගොඩක් මේ සෝපා එකට තමන්ගේ විරුද්ධතාවය පල කරලා කැම්පේන් එහෙම කරා.විකිපීඩියා එකත් ඒ අතරේ හිටියා.මේ පනත ගෙනාවොත් Twitter/Facebook/Wikipedia වගේ ප්‍රධාන පෙලේ සයිට් ගොඩකට ලොකු අවුලක් වෙනවා. මුළු ලෝකයෙන්ම ඇති උන දැඩි විරෝධය නිසාම දැන්නම් සෝපා එක ගේන එක නතර කරලා තියෙන්නේ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බැහැ.




Saturday, January 14, 2012

පළවෙනියා උන හැටි

මේ පහුගිය දවසක උන සිද්ධියක්.අපේ පැත්තේ ඉන්නවා සින්දු කියන්න ඕන උණ තියෙන සෙට් එකක්.කට්ටිය මේ දවස්වල සින්දුවක් ( වීඩියෝ ) එකක් හදලා තියෙනවා.මේ සීන් එක උනේ ඔය සෙට් එක ඕඩියෝ එක හදපු කාලේ වගේ.ලංකාවේ තියෙනවානේ ඔය අළුතින් සින්දු කියන අයගේ සින්දු දාන රේඩියෝ ප්‍රෝග්‍රෑම්.ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකේ අළුතින් එන අය කියන සින්දු 20 තියෙනවා.ඕන සින්දුවක් පටන් ගන්නේ 20 වෙනි තැනින්.ඊට පස්සේ ඕන කෙනෙක්ට SMS කරන්න පුළුවන්.SMS එන්න එන්න සින්දුව උඩට එනවා.ඊට අමතරව හැම සතියකම වැඩියෙන්ම SMS කරන කෙනාට වැඩියෙන් SMS ලැබෙන සීන්දුව කියන අයගේ සින්දුව තියෙන සී.ඩ් එකක් තෑගි විදියට ලැබෙනවා.

කොහොමහරි අපේ මේ සෙට් එකත් ෆුල් මාකටින් පාරක් එහෙම දීලා ලංකාවේ තියෙන හැම ජාතියේම සිම් කාඩ් අරගෙන SMS වැඩේට බැස්සා.දන්න කියන හැමෝටම 50 - 100 කාඩ් අරන්  දීලා SMS කරන විස්තරත් දුන්නා.

වැඩේ කොච්චර හොදට උනාද කියනවනම් මේ කට්ටියගේ සින්දුවත් පලවෙනි තැනට කිසිම අවුලක් නැතිව ආවා.කට්ටියටත් ඉතින් මාරම හැපී.සල්ලි වියදම් කරා උනත් ඉතින් පළවෙනියා නේ.ටික දවසකට පස්සේ අර එෆ්.එම් එකෙන් කෝල් එකක් එනවා අර සින්දුව කියන සෙට් එකේ කෙනෙක්ගේ ගෙදරට.සින්දු කියන සෙට් එකෙක් බුවෙක් තමයි කෝල් එක ගන්නේ.

FM එකේ කෙනා : මිසිස්‌ ***** ඉන්නවද ?
බුවා : එයා නම් දැන් ගෙදර නැහැ , ඇයි මොකක්ද උවමනාව ?
FM එකේ කෙනා : අපි මේ *** එෆ්.එම් එකෙන් කථා කරන්නේ ? මිසිස්‌ ***ට  "****" සීන්දුව කියන අයගේ අළුත්ම සින්දුව තියෙන සී.ඩි එකක් තෑගි විදියට දිනලා තියෙනවා.අපේ ඔෆිස් එකට ඇවිල්ලා තෑග්ග අරගන්න

දැන් බුවා බලනවා තමන්ගේ සින්දුවක් අම්මට තෑගි විදියට ලැබුනේ කොහොමද කියලා.ඇරත් ඉතින් තමන් කියන සින්දුව තෑග්ගක් විදියට ගන්න ඕනෑකමක් නැහැනේ.ඔය අනං මනං හින්දා බුවා ඕක කෙලින්ම  අම්මගෙන් අහලා.එතකොට ඉතින් අම්මා කියනවා.

ආ මට ඇදීලත් ඇති ඉතින් සමහර වෙලාවට , මොකෝ ඉතින් මමත් රුපියල දාහක හමාරක SMS ඕකට යැවුවනේ. ! ! ! !

පස්සේ ඉතින් අදාළ තෑග්ග ගන්නත් ලොකු ගේමක් දුන්නා.මොකද දින්න කෙනාගේ ඇඩ්රස් එකයි , ගායකයාගේ ඇඩ්රස් එකයි දෙකම එකයි නේ.ඒක මාට්ටු උනොත් තවත් වැඩේ අවුල් නේ.ම්ට කලින් මම අහල තියෙනවා සම්මාන උළෙලවලදී දෙන ජනප්‍රිය සම්මාන ගන්න නළුවෝ/නිළියෝ තමන්ම කුපන් පුරවලා යවනවා කියලා.බලන් යනකොට ඉතින් ඒ වැඩෙත් ඇත්ත වෙන්න ඕන.

Wednesday, January 11, 2012

මම නම් ඔයාට කියයි

දැනට අවුරුදු 7 කට කලින් දැක්කට පස්සේ අද තමයි මම ඔයාව දැක්කේ.ඔයා වෙනස් වෙලා තියෙන තරම්.එදා අන්තිමට මම ඔයාව දැක්කේ මම ඒ/ලෙවල් ක්ලාස් යනකොට.ඒ කාලේ අපේ හිටපු හැම කොල්ලම ඔයාට තමයි ට්‍රයි කලේ.එහෙම නොවුනනම් තමයි නේ පුදුමේ.ඔයා ඒ හැමෝවම ගානකටවත් ගන්නේ නැතිව ඉන්න එක දැක දැක මම තනියම හිනාවේවි හිටියා.හැබැයි මගේ හිතේ ඔයාට කැමැත්තක් තිබ්බේ නැත්තෙමත් නැහැ.අනිත් අය වගේ ඔයාගෙන කැමැත්ත අහන්න මට හිතුන්නැත්තෙමත් නැහැ.

ඒත් අහම්බෙන් වගේ අද ඔයාව දැක්කම මාව මිට අවුරුදු ගානක් ඉස්සරහට ගෙනිච්චා වගේ කියලා තමයි හිතුනේ. වෙනදා වගේම ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා උනා.අන්තිමට දැක්ක දවසට වඩා ඔය ගොඩක් ලස්සන වෙලා.ළගට ගිහින් කතා කරන්න කොච්චර දේවල් තිබ්බත් ඒ ඔක්කොම මම මගේ හිතේ හිර කරගෙන හිටියා.මම ඔයාට කොච්චරක් කැමැත්තෙන් හිටියද කියලා ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ.ඒක හැමදාම මගේ හිතේ තියෙයි.මම නම් කියයි ඔයාට ;)

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද
අප තනිවෙන්නේ
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ..... කිමද මා ගැන නොසිතන්නේ

Thursday, January 5, 2012

මුදලාලිගේ ටිකිරි මොළේ

ඔන්න එක නගරයක සාර්ථකව බිස්නස් එකක් කරගෙන යන මුදලාලි කෙනෙක් ඉන්නවා.බුවා පවුලක් පන්සලක් එහෙම වෙලා තමයි ඉන්නේ.එක දවසක් මුදලාලිත් වෙනදට වඩා කලින් බිස්නස් වැඩ ඉවර කරලා ගෙදර යනකොට කඩේ වැඩ කරන සේල්ස් රෙප් බුවෙකුයි , මුදලාලි ගේ බිරිදයි ගෙදර සෝෆා එකේ පෙම් සුව විදිමින් ඉන්නවලු.දැන් ඉතින් මුදලාලිට අම්බානෙක කේන්තියිලු.ඒ උනාට මොකෝ ඉතින් ඒ බවක් පෙන්නනේ නැතුව බුවා හෙමින් ගේ ඇතුලට ගිහින්.

පස්සේ දවසක මුදලාලි තමන් දන්න ලෝයර් කෙනෙක් හම්බුන වෙලාවක මේ සීන් එක කියලා ලෝයර් ගෙන් උපදෙසක් ඉල්ලුවා.

ලෝයර් : ඔහොම මිනිස්සු ළග පාතකවත් තියාගන්න එපා මුදලාලි , ඔය සේල්ස් රෙප්ව අදම ගිහින් අයින් කරලා දාන්න.
මුදලාලි : අපෝ එහෙම කරන්න බැහැ ලෝයර් මහත්තයෝ..ඔය යකා නේ ඉතින් මගේ බිස්නස් වැඩ
ඔක්කොම බලා කියා ගන්නේ.ඔය යකා වෙන තැනක වැඩට ගියා කියන්නේ මගේ රහස් ඔක්කොම මාට්‌ටුයි කියන එක තමා.
ලෝයර් : එකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..එහෙනම් ඉතින් අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ ඉතින් මුදලාලීගේ නෝනා මහත්තයාව ඩ්වෝර්ස් කරන්න කියන එක තමා.දෙන්නට දෙන්නා විශ්වාස නැතිව ඉන්නත් බැහැ නේ
මුදලාලි : අපෝ ඒකත් කීයටවත් කරන්න බැහැ..ඔය ගෑණි තමයි මගේ බිස්නස්වලට ඔක්කොම සල්ලි දැම්මේ.එයාව ඩ්වොර්ස් කරා කියන්නේ ඉතින් මට ඔය සල්ලි ටිකත් දෙන්න වෙනවා කියන එකනේ ..මේ වෙලාවේ හැටියට ඒකත් කරන්න බැහැ.
ලෝයර් : ( මල පැනලා ) එහෙනම් ඉතින් ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ලෝයර්ට මුදලාලිව හම්බුවෙනවා.

ලෝයර් : කොහොමද මුදලාලිගේ අර ප්‍රශ්නේ ?
මුදලාලි : ආ මම ඒක ව්සදගත්තා
ලෝයර් : හොදයි හොදයි මුදලාලි..මොකද කරේ සේල්ස් රෙප්ව අයින් කරාද ?
මුදලාලි : අපො නැහැ ඒ යකා අයින් කරලා කොහොමද..
ලෝයර් : එහෙනම් ඉතින් නෝනව ඩ්වෝර්ස් කරාද ?
මුදලාලි : අනේ නැහැ , මම කොහොමද එහෙම ඒකත් කරන්නේ
ලෝයර් : එහෙනම් කොහොමද ප්‍රශ්නේ විසදගත්තේ ?
මුදලාලි : මම සෝෆා ඒක විකිණුවා !!

ආදර්ශය - සෑම ප්‍රශ්නයකටම මතුපිටින් පෙනෙන පිළිතුරුවලට වඩා පිළිතුරු ප්‍රමාණයක් ඇත.

Monday, January 2, 2012

අළුත් අවුරුද්දක් - අළුත් ආරම්භයක්

අළුත් අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක.අළුත් අවුරුද්දේ අපි කැමති දෙයකින් වැඩ අල්ලන එක
කොහොමත් හොද වැඩක් නේ.ඒක හින්දා ඉතින් බ්ලොග් පොස්ට් එහෙකින්ම වැඩේ පටන් ගත්තා.අවුරුද්දේ අන්තිම දවසේ නම් බුකියේ නෝටිෆිකේෂන්වලින්ම සංතෘප්ත වෙලා තිබුනේ.ඒ අස්සේ අපේ එවුන් දෙතුන් දෙනෙක්ට මල පැනලා ස්ටේටස් අප්ඩේට් කරලා තිබුනා " තව එක ෆොටෝ එකක් හරි ටැග් කරොත් ටැග් කරන එකාව රිමුව් කරනවා " කියලා.කොහොමත් ඉතින් අළුත් අවුරුද්දට , 31 වෙනිදා වගේ  ඔය දේවල් වැඩිය ගානකට ගන්න ඕනේ නැහැ.

මේ අවුරුද්දේ කරන්න නම් වැඩ ගොඩයි.මුලින්ම කරන්න ඕන මේ දවස්වල නිශාචර වෙලා තියෙන ජීවිතය යථා තත්වයට ගන්න එකයි.පහුගිය මාස දෙක තුනම වැඩිය වැඩක් තිබ්බේ නැති නිසා රෑ (පාන්දර) 4-5 වෙනකම් ටී.වී සිරිස් බලන එක තමා කරේ.ඒ කරලත් උදේ 9-10 ඇහෙරෙනවා.අළුත් අවුරුද්දේ මොන දහම් ගැටයක් හරි ගහලා ආයි සාමාන්‍ය ජිවිතයට එන්න ඕන.ඊට අමතරව ඉතින් ජිවිතයේ ලොකු වැඩක් තියෙනවා පෙබරවාරි මාසයේ.(කසාදයක් බදින්න නෙවෙයි ).ඒ දවස එනකන් ඉතින් ඇගිලි ගැන ගැන ඉන්නවා.

බුවා පටන් ගත්තු අළුත් වැඩේ ගැන කියන එක තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ආලකමන්දාව තමයි මේ අළුත් වැඩේ.තමන් රසවිදින ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් / යෝජනා මේකෙ ලියන්න පුළුවන්.වැඩි විස්තර මෙතන තියෙනවා, ගිහිල්ලම බලන්නකෝ .මාත් වැඩේට පුළුවන් විදියට සම්මාදම් වෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.

අවුරද්ද පටන් ගන්න මේ මාසේ හැමෝටම තමන් කරන්න හිතන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා මේ ගමන්ම ප්‍රර්ථනා කරන්නම්.

A New Life..A New Beginning...I'm Ready For My World....My Destiny !!