Sunday, June 3, 2012

කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!

මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.

මේ සිකුරු සංක්‍රාන්තියේදි අපිට පේන්නේ හරියට සුර්යයා උඩින් සිකුරු ග්‍රහය ගමන් කරනවා වගේ.ඒ උනාට ඇත්තටම වෙන්නේ සූර්යයා,සිකුරු සහ පෘතුවිය එක රේඛාවක එක එල්ලේ පිහිටන එකයි.මේ වගේ පිහිටීමක් එන එක හරි විරල සිදුවීමක්.

මීට කලින් ඒ කියන්නේ 2004 තිබ්බ සිකුරු සංක්‍රාන්තිය අපේ රටට හොදට බලා ගන්න පුළුවන් උනාට මෙදා පාර නම් සම්පුර්ණයෙන්ම බලන්න වෙන්නේ නැහැ.අපේ රටට පැය 4 වගේ කාලෙකට තමයි සිකුරා මාරු වෙන එක බලාගන්න වෙන්නේ.අපේ රටේ වේලාවෙන් උදේ 5.55 පස්සේ ( ඉර උදා උනාට පස්සේ ) තමයි මේ සිකුරු සංක්‍රාන්තිය බලන්න වෙන්නේ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන එක සුදුසු නැහැ, ඒ නිසා සුර්ය පේරෙන පාවිච්ච් කරන එක තමයි සුදුසුම වැඩේ.නැත්තම් සුර්යාගේ ජායාව සුදු බිත්තියකට වැටෙන්න දීලා ඒකෙන් බලාගන්නත් පුළුවන්.ඔය ක්‍රම දෙකම අප්සට් වගේ නම් යකඩ පාස්සන අය පාවිච්ච් කරන ආරක්‍ෂිත දෑස් ආවරණයකින් උනත් මේ වැඩේට හොදයි.

අවුරුදු ගානකට පස්සේ මාරු වෙන මේ සිකුරත් එක්ක බ්ලොග් ලියන / කියවන හැමෝටමත් සිකුරා ලබන්න වාසනාව ලැබේවා !!!!

සංක්‍රාන්තිය බලන්න පුළුවන් රටවල් ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

සිකුරු සංක්‍රාන්තිය ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.


Thursday, April 26, 2012

අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!

දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!

Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.

Tuesday, April 3, 2012

වාසගමේ ප්‍රයෝජනේ

මේක ටිකක් පරණ කථාවක්.ගොඩක් කට්ටිය මේක අහලත් ඇති , අහල ඇති නැති අය හැමෝටමත් එක්ක ඔන්න කථාව.

ඔන්‍න‍ දවසක් බුවෙක් යනවලු තමන්ගේ පරණ යාලු ගෑණු කෙනෙක් හම්බුවෙන්න කියලා.මේ ගෑණු පරානේ ගොඩක් කාලෙකින් හම්බුවෙලත් නැහැලු බුවාට.ඔන්න දැන් බුවා ගෑණු කෙනාගේ ගෙදරට ගිහින් කථා බහ කර කර ඉන්න අතරේ මේ ගෑණු මනුස්සයා "ඈන් දුවේ මෙහෙ එන්න" කියලා කථා කරාලු.
අපේ බුවත් ඉතින් දුවට කථා කරන්න ඇති කියලා හිතාගෙන හිටියා.

මෙන්න බොලේ එකපාරට පුංචි පුංචි කෙල්ලෝ පස් දෙනෙක් පෝලිමට ආවලු.දැන් බුවාට හෙන අප්සෙට් ලු.බුවත් ඉතින් වැඩිය හිත හිත ඉන්නේ නැතිව ඇහුවලු "මොකද මේ ඈන් කිව්වම ඔක්කොම ළමයි ටික දුවගෙන ආවේ කියලා "

අර ගෑණු කෙනා උත්තරේ විදියට දෙනවලු " නෑ ඉතින් එක එක නම කියලා කථා කරන්න ඕන නෑ නේ..එකපාරට ඈන් කිව්වම වැඩේ ලේසියි නේ "

අපේ බුවාට තාමත් වැඩේ පැටලිලි සහිතයි.ඒ හින්දම බුවා ඒ පාර අහනවලු " දැන් එතකොට එක එක ළමයට වෙන වෙනම කථා කරන්න ඕන උනාම මොකද කරන්නේ ? "

අර ගෑණු කෙනා ඒ පාර කියනවලු " ආ එතකොට මම වාසගමත් එක්කම කථා කරනවා "

Tuesday, March 27, 2012

ගොසිප් සයිට්ස් සහ කමෙන්ට්ස් - Gossip Web Sites & Comments

ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා  විදියට ආවත් තාක්‍ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්‍රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස් ( Gossip Sites ).

ලංකාව වගේ විකල්ප මාධ්‍ය අඩු රටකට මේ කියන ගොසිප් සයිට්ස් වලින් කෙරෙන්නේ එක්තරා ආකාරයක උදව්වක්.අවධානය ලැබිය යුතු එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ අවධානය ලැබෙන්නේ නැති කුමක් හෝ ප්‍රවෘත්තියකට ඒ අදාළ ලැබිය යුතු ප්‍රවෘත්තිමය වටිනාකමක් ලබා දීමට මේ ගොසිප් සයිට් වලට හැකියාව තියෙනවා.මොකද Google ( දැන් නම් නම කියන්නත් බයයි ) , Yahoo , Facebook වගේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වැඩියෙන්ම පිරිසක් නරඹන වෙබ් අඩවි වෙන්නේ මේ ගොසිප් සයිට්ස්.ප්‍රවෘත්ති සදහාම පමණක් තියෙන වෙබ් අඩවි පවා සමහර අවස්ථාවල මේ ගොසිප් සයිට් විසින් අභිබවා ගිහින් තියෙනවා.

මේ ගොසිප් අඩවිවල තියෙන එක විශේෂත්වයක් වන්නේ කතෘ නාමිකව පෙනී නොසිටීමයි.ඒ නිසා මේ සයිට්ස් එක්තරා ආකාරයක දැලි පිහියක් විදියටත් නම් කරන්න පුළුවන්.ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකට අපහාස කිරීමටත් ( ඕනෑකමක් තියේනම් ) මේ අඩවි භාවිතා කරන්න පුළුවන්.

මේ සයිට්ස් වල කමෙන්ට් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වගේම තමයි ඒ කමෙන්ට් කෙරෙන්නේ බොහෝවිට තමන්ගේ දේශපාලනය,රුචි-අරුචි කම් මතයි.මේ ලිපිය ලියන්නට හිතුනෙත් කමෙන්ට් කතන්දරයකි.ඒ කථාව මෙහෙමයි.

ගායක අමරසිරි පිරිස් මහතාගේ ගීත Ring-n-tone සදහා අනවසරෙන් භාවිතා කර තිබු බවට ගොසිප් අඩවියක් පහු ගිය දවසක වාර්ථා කරලා තිබුනා. ඒකේ තිබ්බ විදියට ජනප්‍රිය තරුණ පොප් ගායකයෝ දෙන්නෙක් තමයි මේ වැඩේට සම්බන්ධ. දැන් ඔය ටික කිව්ව ගමන්ම මතක් වෙන්නේ කවුද ????

ඔය නිව්ස් එක තිබ්බ පොස්ට් එකේ කමෙන්ට්ස් වලින් ගොඩක් අය මේ ගායකයෝ දෙන්න භාතිය - සන්තුෂ් කියලා නිගමනය කරලා තිබ්බ.ඒ විතරක් නම් මදෑ , භාතිය - සංතුෂ් ගේ නෑදෑ - හත්මුතු පරම්පරාවම මතක් කරලා හොදට බැනලත් තිබ්බා.සින්දු රිමික්ස් කරන තැන ඉදන් - සංගීතය කාබාසිනිය කරනවා කියන තැනට එනකන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලත් තිබ්බා.

හැබැයි මුලින්ම ප්‍රවෘත්තිය ගිය සයිට් එකෙන්ම භාතියගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා.ඔහු සමහ තිබුණ සම්මුඛ සාකච්ඡාවත් ඒ සයිට් එකේ පළ කරා. භාතියට අනුව ඔවුන් මේ දේට කොහොමටවත් සම්බන්ද වෙලා නෑ.Ring-n-tone වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙනමම කෙනෙක්.ඒ උනාට අදාළ ප්‍රවෘත්තියට තටු ඇවිල්ලා වගේ ප්‍රචාරය උනේ වෙනමම විදියකට.

දැන් තමයි හොදම හරිය , කලින් පොස්ට් එකේ භාතිය-සන්තුෂ්ට පලු යන්න බැනපු අයම දැන් අලුත් පොස්ට් එකේ කමෙන්ට් දාලා අමරසිරි පිරිස් මහත්මයාට බනිනවා , කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක් වැරදි කාරයෝ කරන්න හැදුවා කියලා.

අපේ රටේ අයගේ කන්න ඕන උනාම තලගොයත් කබරගොයා කර ගන්න ප්‍රතිපත්තිය තමයි මේ සිද්ධියෙදී උනත් පේන්නේ.කවුද හරි,කවුද වැරදි කියලා හොයන්නේ බලන්නේ නැතිව කාට හරි බනින්න තියෙනවානම් ඉතින් අපේ අයට එච්චර තමයි ඕනෑ.

ප.ලි - ගොසිප් සයිට් කරන සේ‍වය අවතක්සේරුවට ලක් කරන්න කිසිදු චේතනාවක් නොමැත.ඔවුන් කරන සේවය අතිවිශිෂ්ඨය.

ප.ප.ලි - ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කරන එක්තරා සෙට් එකක් ඉන්නවා.කමෙන්ට් කරන විදිය / කමෙන්ට් කරන නම් / පාවිච්චි කරන වචන වගේ රිසර්ච් එකක් කරන්න තරම් කරුණු එතැන තියෙනවා.

Thursday, March 22, 2012

ආදර ජාති - Types of Love

අපි කවුරුත් ඉතින් එක එක විදියට ආදරේ කරලා , ආදරේ ලබලා තියෙනවනේ.පුංචිම කාලේ ඉදන් ලැබෙන දෙමව්පිය ආදරෙන් පටන් ගත්තම තරුණ කාලේ කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදෙරේ වෙනකන්ම අපිට ආදරේ එක එක විදියට ලැබෙනවා.සාමන්‍යයෙන් ගත්තම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ මොන කාලේදී උනත් වෙනස් වෙන්න නැති උනාට කොල්ලගෙන් / කෙල්ලගෙන් ලැබෙන ආදරේ නම් වෙනස් වෙන්න පුළුවන් ( එහෙම තමයි පැරණි පඩිවරු කියලා තියෙන්නේ ).

කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්‍රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.
  • බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.
  • නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.
  • ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.
  • බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )
ඔය ටිකට අමතරව තවත් ආදර ජාති හම්බු උනොත් අටපට්ටමට කියන්න ඕන හොදද !!!

ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.